ලංකා ගමනාගමන මණ්ඩලය ගොඩගන්න බැරි ආයතනයක් නොවන බව එහි නව සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා ධුරයේ රාජකාරි අරඹමින් කියා සිටියේය.
“ලංකා ගමනාගමන මණ්ඩලය විශාල මහජන සේවයක් සපයන ආයතනයක්. මේ වනවිට ආයතනයේ නොයෙකුත් අඩුපාඩු පවතිනවා. ක්ෂණයකින් නොහැකි වුවත්, කැපවීමෙන් කටයුතු කර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නඟාසිටුවන්න ක්‍රියා කරනවා. දිවයින පුරා ස්ථාපිත කර ඇති සෑම ඩිපෝවක් ගැනම පෞද්ගලිකවම අවධානය යොමු කර, ලංගමය මගී ජනතාවට මනා සේවයක් සපයන ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කරනවා. මේක ගොඩදාන්න බැරි ආයතනයක් නොවෙයි” යැයිද හෙතෙම සඳහන් කළේය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක මහතා සමඟ නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද සභාපතිවරයා එක්විය.
තමා ලක්දිව ආයතනය ඉතාමත් කෙටි කාලයකින් සාර්ථකත්වය කරා ගෙනගිය බවත්, ලංගම ඊට වඩා පුළුල් ආයතනයක් බැවින් එතරම් ඉක්මනින් නොවූවත්, හැකි ඉක්මනින් දියුණුව කරා ගෙනයන බවත් හෙතෙම කීවේය.
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ ලක්දිව ඉංජිනේරු සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරි පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.