අලුතෙන් ත්‍රිරෝද රථයක් ගැනීමට බලාපොරොත්තු වෙන වෘත්තිය ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා බදු සහනයක් ලබා දෙන්නැයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
මගී ප්‍රවාහනයේ යෙදෙන වෘත්තිය ත්‍රිරෝද රථ රියැදුරන් මේ වන විට පත්ව ඇති තත්ත්වය පිළිබඳව ඊයේ (09) මාධ්‍ය හමුවක් කැඳවමින් ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා සඳහන් කළේ ත්‍රිරෝද රථ වෘත්තියෙන් ජීවත්වන මිලියන ගණනක් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද කීය. ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය මේ වෙනකොට ලංකාවේ ප්‍රධානතම ත්‍රිරෝද රථ සංගමයක් විදියට කටයුතු කරනවා. ප්‍රදේශයේ විශාලතම ත්‍රිරෝද රථ සංගම්වල මවු සංගම් හැටියට ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ හිමියන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය කටයුතු කරනවා. වර්තමාන රජය හරහා අපි බලාපොරොත්තු වූ දේ ඉටුවන්නේ නැහැ කියන එක ඉතාම කනගාටුවෙන් ප්‍රකාශයට පත් කරන්න වෙනවා.
අපේ සේවාව රඳා පවතින්නේ මේ වාහනයත් එක්කයි. වාහනය නැතිවුණොත් වෙන රැකියාවල නියුතු වෙන්න අපිට හැකියාවක් නැහැ. වාහන ආනයන සීමා ඉවත් කළත් මේ වෙනකොට හරියට කන්න දීලා අත් දෙක බැඳලා දැම්මා වගේ තමයි මේ රජය වැඩ කරන්නේ. 2019 දී ත්‍රිරෝද රථ ගෙන්නන එක තහනම් වුණාට පස්සේ සියලු බදු සමඟ අවසාන වශයෙන් නවලක්ෂ තිස්පන්දහට තමයි වාහනය අලෙවියට පත්වුණේ. දැන් ආනයනය කරන ත්‍රිරෝද රථයකට ලක්ෂ දොළහක් විතර අමතර බදු ගෙවන්න වෙනවා. එහෙමද ජනතාවාදී ආණ්ඩුවක් කියන්නේ. ජනතාවට පහසුකම් සපයන ආණ්ඩුවක් ඒ විදියටද ක්‍රියාත්මක වෙන්නේ. ජනතාවාදී කියලා බොරු වචන දාන්න එපා. මේ අහිංසක ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් මේ තරම් විශාල මුදලක් අය කරලාත් ත්‍රිරෝද රථයක් ගන්න කියන්නේ කොහොමද?