විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන යටතේ ඉතිරි සමාලෝචන සාර්ථකව නිම කිරීමට රජය දක්වන කැපවීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය වෙත සහතික කළේය.
ජනාධිපතිවරයා සහ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අතර පසුගියදා (07) මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ හමුවක් පැවති අතර එහිදී ජනාධිපතිවරයා එම සහතිකය කළමනාකාර අධ්‍යක්ෂවරියට ලබා දුන්නේය.
2023 මාර්තු මාසයේදී ආරම්භ වූ මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකමට (EFF) අදාළ ගිවිසුමේ අඩක් සාර්ථකව නිම කර ඇති මේ මොහොතේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරිණ.
මෙම හමුව අතරතුර, 2022 වසරේ මුහුණදුන් ව්‍යවසනකාරී ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලද අඛණ්ඩ සහාය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතවේදීත්වය පළ කළේය. ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, සාර්ව ආර්ථික ස්ථායිතාව සවිමත් කිරීම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහාය වීම සහ පාලනය ශක්තිමත් කිරීම ආදී අංශවලින් ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්රියාවලියෙහි දී කළමනාකාර අධ්යක්ෂවරයා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයෙන් ලද සහයෝගය අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ඇගයීමට ලක් කළේය.
ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා මධ්‍යයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ දරාගැනීමේ හැකියාව සහතික කිරීම සඳහා මෙම අඛණ්ඩ සහයෝගිතාවේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
සාර්ව ආර්ථික ස්ථායීතාව සහතික කිරීම සහ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ තුන් වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීම මෙන්ම බැඳුම්කර හුවමාරුව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව නිම කිරීම සම්බන්ධයෙන් ජෝර්ජිවා මහත්මිය ජනාධිපතිවරයාට මෙහිදී සිය සුබ පැතුම් එක්කළාය. ප්‍රධාන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ශ්‍රී ලංකාව දරන ලද උත්සාහය කළමනාකාර අධ්‍යක්ෂවරියගේ පැසසුමට ලක් වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික න්‍යාය පත්‍රයට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කැපවීම යළි තහවුරු කළාය.
විශේෂයෙන් ඉහළ ගෝලීය අවිනිශ්චිතතා, ගෝලීය ආර්ථික වර්ධනයෙහි මන්දගාමීත්වය සහ ගෝලීය ණය මට්ටම් ඉහළ යාම හමුවේ යහපාලන රාමු සමඟ සාර්ව ආර්ථික මූලධර්ම ශක්තිමත් කිරීමේ වැදගත්කම ජෝර්ජිවා මහත්මිය මෙහිදී අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවේ ජනතාවගේ ශක්තිමත් ජනවරම පිළිබිඹු කරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන සමඟ තවදුරටත් ඉදිරියට යාමට සහ එකඟ වූ ඉලක්ක ජනතාවගේ අභිමතාර්ථයන්ට යටත්ව සම්පූර්ණ කරගැනීමේ සූදානම ජනාධිපතිවරයා මෙහිදී යළි තහවුරු කළේය. ඒ වෙනුවෙන් දුප්පතුන් නඟාසිටුවීම සඳහා අවැසි යන්ත්‍රණ ක්‍රියාත්මක වන අතරම සුබසාධන වියදම් ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන ප්‍රමුඛතාවක් බව ජනපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
විදුලිබල ක්ෂේත්රය ආදියෙහි විධිමත් පාලනය සහ පිරිවැය-ප්‍රතිසාධන මිලකරණය මඟින් රජය සතු ව්‍යවසායන් වැඩිදියුණු කිරීම සඳහා රජයේ කැපවීම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ණය අවදානම අවම කිරීම සහ තිරසාර හා සාර්ව සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා බහුපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් විදේශ සෘජු ආයෝජන සහාය ලබාගැනීමේ වැදගත්කම ද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
අනාගතය දෙස බලන විට, ශ්‍රී ලංකාව තිරසර හා සමානාත්මතා සංවර්ධනයක් කරා තීරණාත්මකව යොමු කිරීමේ වැඩසටහන යටතේ ඇති ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය නොපිරිහෙලා ඉටු කිරීමේ අවශ්‍යතාව ජෝර්ජිවා මහත්මිය මෙහිදී අවධානයට ලක්කළාය. විශේෂයෙන් තාක්ෂණයේ සහ භූ දේශපාලනයේ වේගවත් ගෝලීය වර්ධනයන් සැලකිල්ලට ගෙන, තිරසර ලෙස යළි යථා තත්ත්වයට පත්වීමේ ක්රියාවලියෙහි අභියෝගාත්මක බව ඇය පිළිගත් අතර ශ්‍රී ලංකාවේ ස්ථිර හවුල්කරුවකු ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි භූමිකාව ද පැහැදිලි කළාය. සියලු ක්ෂේත්‍ර ඇතුළත් සංවර්ධනය, දරිද්‍රතාව තුරන් කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අඛණ්ඩව සූදානම් බව ද ක්‍රිස්ටලිනා මහත්මිය අවධාරණය කළාය.
ශ්‍රී ලංකාව සඳහා තිරසර ස්ථාවරත්වයක් අත්කර ගැනීම සඳහා අඛණ්ඩ සංවාදයක් සහ සහයෝගීතාවක අවශ්‍යතාව පිළිබඳව ජනාධිපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙහිදී ද්වීපාර්ශ්වික වශයෙන් එකඟ වූහ. සමෘද්ධිමත් සහ තිරසර අනාගතයක් සඳහා එක් ව කටයුතු කිරීමට අන්‍යොන්‍ය වශයෙන් කැපවීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.