කලාව වෙනුවෙන් දීර්ඝකාලීන ආයෝජනයන් සිදුකරන, කලාව තුළ ජීවත් විය හැකි තත්ත්වයක් රට තුළ නිර්මාණය විය යුතු බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.
අරලියගහ මන්දිරයේ පසුගිය (06) වැනිදා පැවති 44 වැනි යෞවන සම්මාන උළෙලේ ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට සුබපැතුම් එක්කරමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය.
කලා කෘතියකින් අප බලාපොරොත්තු වෙන්නේ රසවින්දනය වගේම ප්‍රේක්ෂකයාට යමක් හිතන්නට ඉඩ සැලසීම සහ සමාජයට යම් පණිවුඩයක් ලබාදීම බව ද අගමැතිවරිය කීවාය.
මේ මඟින් ප්‍රේක්ෂකයා එහෙම නැත්නම් පරිශීලකයා වගේම නිර්මාණකරුවාත් තෘප්තිමත් වන බව අගමැතිවරිය කියා සිටියාය.
අගමැතිවරිය වැඩිදුරටත් මෙසේ ද පැවැසුවාය.
“සමහර නිර්මාණ ප්‍රේක්ෂකයා අපහසුතාවට පත්කරනවා. ඒ අපහසුතාව තුළින් සමහරු හිතන්න පෙළඹෙනවා. එවැනි කලා නිර්මාණ අපි දැක තිබෙනවා. තරුණ සේවා සභාවෙන් දැනුම හා පන්නරය ලබා ගත් අපේ කලා ශිල්පීන් අදටත් කලා ක්ෂේත්‍රයේ වැජඹෙමින් සාර්ථකව නිර්මාණකරණයේ යෙදෙනවා. රසික ආදරය ලබනවා. අදටත් අපි එය අත්දකිනවා. ඔවුන් අද පායලා හෙට බැසයන තරු නෙවෙයි, කලාව තුළ දිදුලමින් අපිට ආලෝකයක් ලබා දෙනවා. සහකම්පනයෙන් යුතු බුද්ධිමත් තරුණ ප්‍රජාවක් බිහි කිරීමට කලාව අත්‍යවශ්‍යයි. කලාව ඇසුරු කරමින් වැඩෙන දරුවා අනාගතයේ සම්පූර්ණ වූ මිනිසකු බවට පත්වෙනවා. ඔවුන් එකිනෙකාගේ ගුණ සුවඳ හඳුනන පරිකල්පන ශක්තියක් ඇති පිරිසක් බවට නිරායාසයෙන් පත්වෙනවා.
වර්තමානයේ උසස් කලා නිර්මාණකරුවන්ගේ හිඟයක් පවතින බව අපි සියලු දෙනාම පිළිගන්නවා. අතීත කලාකරුවා තම නිර්මාණ ශක්තිය හා දක්ෂතාව මත නිර්මාණ සිදුකළා. එමඟින් මූල්‍යමය ලාභයක් බලාපොරොත්තු වුණේ නැහැ. මුදල් මූලික අවශ්‍යතාව නොවුණ යුගයක් තිබුණා. හැබැයි මුදල් නැතුව අද නිර්මාණ කරන්න බැහැ. අද එහෙම දීර්ඝකාලීනව ආයෝජනයක් කරලා නිර්මාණ කරන්න පෙළඹෙන්නේ නැහැ. අද විවිධ තත්ත්වයන් හේතුවෙන් කලාව තුළ ජීවත්වීම අමාරු තත්ත්වයක් බවට පත්වෙලා තිබෙනවා. ඒ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි. මෙවැනි කාලයක ජාතික තරුණ සේවා සභාවේ මේ ක්‍රියාව ප්‍රශංසනීයව ඇගයීමට ලක් කළ යුතුයි. තරග ඉසව් 91ක් යටතේ ග්‍රාමීය මට්ටමින් තරග පවත්වලා අද ජාතික මට්ටමින් ඔවුන් ඇගයීමට ලක්කරනවා. එය ජාතියක් ගොඩනැඟීමේ රජයේ උත්සාහයට තරුණ සේවා සභාව ලබා දෙන අත්වැලක් ලෙසයි මම දකින්නේ. වේදිකාව, සිනමාව සහ පුංචිතිරය තුළ කලා හැකියාවන් පෙන්නුම් කරන ප්‍රවීණ කලා ශිල්පීන් රාශියක් මෙම යෞවන සම්මාන උලෙළ හරහා රටට බිහිකර තිබෙනවා. සම්මාන ලබන අංකුර කලාකරුවන් ඒ අඩිපාරේම යනු ඇතැයි මම විශ්වාස කරනවා. ඔවුන් මේ කලා කෙතේ ඊළඟ පුරුක බවට පත්වෙයි.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ කලා, සංස්කෘතික රසවින්දනය සහ විනෝදාස්වාදය යටතේ ඇති අරමුණු සාක්ෂාත් කර ගන්නටත්, සංස්කෘතියෙන් දියුණු පුද්ගලයන් බිහිකිරීමටත් ගන්නා මේ උත්සාහය වෙනුවෙන් කැපවෙන සියලු දෙනාට ස්තුතිය පුදකරනවා.”
මෙහිදී හොඳම දිගු නාට්‍ය අංශය (සිංහල) සඳහා හොඳම නිළිය හයිනා ටවුන් නාට්‍යයේ සිලිඳු රන්වල, හොඳම නළුවා ඒම නාට්‍යයේ ඒ.පී. ඒස්.යූ.රාජරත්න විසින් හිමිකර ගත්හ. එම අංශයේ හොඳම සහාය නිළිය තිලංකා වික්‍රමසිංහ, හොඳම සහාය නළුවා ඒ.ඒම්.අයි.කේ. බණ්ඩාර විසින් දිනාගන්නා ලදී.
කෙටි නාට්‍ය අංශය – සිංහල මාධ්‍ය
හොඳම නිළිය – “දුක්ගිනි සින්දන” නාට්‍යයේ (ධාරා චරිතය) දිව්‍යශාරිකා බ්‍රිජට් බ්‍රෙන්ඩන්
හොඳම නළුවා – “වාසනා වේවා” නාට්‍යයේ (ලොතරැයි වෙළෙන්දා චරිතය) ඩබ්ලිව්.එම්.එම්. එල්. දිසානායක
හොඳම සහාය නිළිය – “මේ ගමන යන්නම ඕන ද” නාට්‍යයේ ආර්.ජී.දිනිති තත්සරණි කරුණාතිලක
හොඳම සහාය නළුවා – “ජාතික වීරයෙක්” නාට්‍යයේ අශාන් දිලංක පෙරේරා
කෙටි නාට්‍ය අංශය – ඉංග්‍රීසි මාධ්‍ය
හොඳම නිළිය – 18th plus (වොල්ගා චරිතය) – චානු දිසානායක
කෙටි නාට්‍ය අංශය – දමිළ මාධ්‍ය
හොඳම නිළිය – ඉලවන්දිගයි නාට්‍යයේ කේ. ෆර්නැන්ඩෝ ක්‍රිස්ටිනා
හොඳම නළුවා – “වීරනින් මනවි” නාට්‍යයේ – එච්.එම්. අසේල චතුරංග
හොඳම සහාය නිළිය – “ඌෂි” නාට්‍යයේ සෙල්වකුමාර් ප්‍රදීපා
හොඳම සහාය නළුවා – “සන්දර්පම්” නාට්‍යයේ කුමාරවේලු යශොන් කුමාර්
හොඳම නිවේදිකාව – ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ- මිත්සලා මින්නදි
කථික සිංහල ප්‍රථම ස්ථානය – කේ.එන්.වයි. කළුබෝවිල
අභිරූපණ ප්‍රථම ස්ථානය– කේ.පී.එම්. යසිරු හෙලරුවන්