තවත් අන්තර්ජාතික කාන්තා දිනයක් ගෙවී ගියේ ය. ඒ පිළිබඳ සමරු උත්සව, දේශන, වැඩමුළු, සාකච්ඡා, සම්මන්ත්රණ සියල්ල හමාර වී ඇත්තේ ය. ඒ පිළිබඳ ගීත, කවි, කෙටිකතා, නාට්‍ය, වාර්තා චිත්‍රපට සියල්ල සමාජගත වී හමාර ය. ඉතා සරලව කිවහොත් කාන්තාව හා කාන්තා දිනයේ ඇති වැදගත්කම පිළිබඳ සමාජ අවධානය හා ජනමාධ්‍යයේ වෙන් වූ ඉඩ දැන් හමාර වී ඇත්තේ ය.
දැන් උදා වී ඇත්තේ කාන්තාව පෙර පරිදි සාමාන්‍යකරණය වී, ඇයගේ දෛනික ජීවිතයේ වැඩ රාජකාරි කරන කාල සීමාවයි. මවක ලෙස, ගෘහිණියක ලෙස, බිරියක ලෙස, දියණියක ලෙස යනාදි වශයෙන් විවිධ භූමිකා නිරූපණය කරන කාන්තාව තමා වෙනුවෙන් පැවති උත්සව දිනවලින් අනතුරුව යළි සාමාන්‍යකරණය වී මහ පොළොවට පැමිණ ඇත.
සත්තකින් ම කාන්තා දිනය සැමරීම සඳහා උත්සව හා කතා පැවැත්වීම පමණක් ප්‍රමාණවත් ද යන ගැටලුව අප හමුවේ පවතී.
අන්තර්ජාතික කාන්තා දිනය මුලදී හඳුන්වා ඇත්තේ අන්තර්ජාතික කම්කරු කාන්තා දිනය ලෙසයි. ලෝ වටා වෙසෙන කාන්තාවන් හා ගැහැනු දරුවන්ගේ දිනය ලෙස නම් කර ඇති එය මහත් උත්සවශ්‍රීයෙන් සමරන්නකි.
අපගේ මේ උත්සාහය යළිත් කාන්තා දිනයේ ඉතිහාසය හා කාන්තා දිනයේ වැදගත්කම සිහිපත් කරවීම නො වේ.
“ලොව සියලු සාර්ථක දේ බිහි වූයේ හිරුගේ කිරණින් හා මවගේ කිරිවලින්” බව ලියූවේ මැක්සිම් ගෝර්කි ය.
මෙවර පැවති කාන්තා දින තේමාව වූයේ “ක්‍රියාව වේගවත් කරන්නී” යන්නයි.
ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හේතුවෙන් සිදු වන වෙනස් කොට සැලකීම්වලට එරෙහිව හඬනැඟීම, පක්ෂග්රාහිත්වයට එරෙහි වීම, ගබ්සාවන් සඳහා සාමූහිකව එක් වී පිළියම් සෙවීම යනාදි කරුණු රැසක් අන්තර්ජාතික කාන්තා දින සැමරුමේ අරමුණු අතර විය.
ජන සමාජයක ශ්‍රම බළකාය තුළ කාන්තා නියෝජනය ප්‍රමාණවත් තරම් ඇගයුමට ලක් වූවා ද යන ගැටලුව තවමත් අප හමුවේ පවතී. නීතිය ඉදිරියේ කාන්තාවට සාධාරණය ඉටු වීම, දේශපාලනය තුළ කාන්තා නියෝජනය ප්‍රමාණවත් තරම් ඉටු වූවා ද යන ගැටලුව පවතී.
සාහිත්‍ය, කලාව, දේශපාලනය යන ක්ෂේත්රවල කාන්තා නියෝජනය අල්ප වී ඇති අතර, බොහෝ විට සංස්කෘතික ජීවිතය අහිමි කාන්තාවන් නිර්මාණය වීම සඳහා ද එය බලපා තිබේ. රැකියා අවස්ථා නිර්මාණය වීමේදී ඇයට හිමි සමාජයීය ඉඩ පිළිබඳව ද තවදුරටත් අවධානය යොමු විය යුතුව ඇතැයි අපට හැඟෙයි.
ගත වූ කාල පරාසය මුළුල්ලේ විවිධ දේශපාලන ප්‍රතිපත්ති ප්රකාශනවල, දේශපාලන වේදිකාවල ඇය වෙනුවෙන් සාධාරණය ඉටු කරන බවක් ප්‍රකාශ වුව ද, ඒවා ප්‍රතිපත්ති ප්රකාශනවල වචන අතර ම පමණක් සිර වූ බවක් දක්නට ලැබිණි.
එනිසා පැරණි ගතානුගතික සාම්ප්‍රදායික සීමාවෙන් ඔබ්බට පැමිණ, ස්ත්‍රියට හිමි සමාජ වටිනාකම දෙන, ඇයට ගෞරව කරන සමාජ පරිසරයක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වී ඇත. ස්ත්‍රිය දෙවැනි පුරවැසියකු ලෙස සලකා කටයුතු නොකරන ජන සමාජයක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි.
කාන්තාවන් වෙනුවෙන් පිහිටට පැමිණෙන ආයතන සහ සංවිධාන විශාල සංඛ්‍යාවක් පැවතිය ද ඒවා රාජ්‍ය නොවන සංවිධානවල අරමුණුවලින් ඔබ්බට ගිය බවක් හඳුනා ගැනීමට නොලැබේ.
සාම්ප්‍රදායික ගෘහිණිය දරුවන් හදන වඩන, ආහාර පිසින, බත් තම්බන ගැහැනියකගේ සීමාවෙන් ඔබ්බට රැගෙන යන සමාජ ක්රමයක අවශ්‍යතාව ඉතා බරපතළව දැනෙමින් තිබේ. රටේ ශ්‍රම බළකායට දායක වන ගැහැනියට ද ස්වකීය රාජකාරි සීමාවෙන් පසු ගෘහිණියක වීමේ ඛේදවාචකය ද පවතී.
එසේ නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත අඩු වැදගත්කමක් ඇති අයකු ලෙස කාන්තාවට සැලකීමේ සමාජ සම්මතයන් වෙනස් විය යුතුය. බොහෝ දක්ෂතා, හැකියා සහ අවස්ථා සපිරි ජන සමාජය තුළ, සමාජ හර පද්ධතියේ, සංස්කෘතික ජීවිතයේ කොටස්කාරියක ලෙස ඇය දායක කර ගත යුතු ය.
වර්තමාන රජයේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්රකාශනයේ ද කාන්තාව වෙනුවෙන් ඉතා විශාල ඉඩක් වෙන්ව තිබේ. ඒවා ප්‍රායෝගිකත්වයේ සීමාව කරා රැගෙන ඒම සතුට දනවන කාරණයකි. වර්තමාන මැතිසබය තුළ ද බල දේශපාලනයෙන් ඔබ්බට ගිය සාම්ප්‍රදායික ස්ත්‍රීන් වෙනුවට පහළ සමාජ ස්තරයේ කාන්තාවන් මැතිසබය නියෝජනය කිරීම සතුට දනවන්නකි.
වර්තමාන රජයේ කාන්තා දිනය වෙනුවට කාන්තා සතියක් ප්‍රකාශයට පත් කිරීම එක්තරා අන්දමක ප්රගතිශීලී කාරණයකි. ඒ සඳහා වන නිශ්චිත වැඩපිළිවෙළක් සකස් වීම ද අගය කළ යුත්තකි.
එබැවින් මෙවර පැවැත්වූ කාන්තා දින සමරු උත්සව සාම්ප්‍රදායික උත්සව බවට පත් නොවී, දින දර්ශන මානසිකත්වය තවත් සමරු දින පවත්වන්නක් බවට පත් නොවී, නිශ්චිත වැඩසටහනකින් යුක්ත ක්‍රමවේදයක් බවට පත් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එමෙන් ම කාන්තා දින සැමරුම වාණිජකරණය නොවීමට ද වග බලා ගැනීම අතිශය වැදගත් කාරණයකි.
ස්ත්‍රිය යනු ලිංගික කෙළි බඩුවක් හෝ පරිභෝජනවාදි වෙළෙඳ භාණ්ඩයක් හෝ නොවේ. එකී ආකල්ප වෙනස සමාජගත කිරීම අතිශය වැදගත් කාරණයකි.
එසේ නම් ස්ත්‍රීවාදි හෝ පුරුෂවාදි යන පටු ආත්මාර්ථකාමි කෝණයෙන් ලෝකය විග්‍රහ කර ගැනීම වෙනුවට, මේ ලෝකය සමස්ත ජන සමාජයේ ම නියෝජනයක් බව හඳුනා ගැනීම වැදගත් වනු ඇත.
එහිදී මවක ලෙස ගෘහිණියක ලෙස, බිරියක ලෙස, දියණියක ලෙස, පෙම්වතියක ලෙස යනාදි විවිධ වර්ගයේ ස්ත්‍රී භූමිකාවන්ට ජන සමාජය තුළ ඇති ගෞරවනීය සමාජ වටිනාකම අවතක්සේරු නොකිරීම අප සැමගේ සමාජ වගකීමක් වන්නේ ය.