හබරණ සිට හොරොව්පොතාන දක්වා ගමන් කරමින් තිබූ ලොරි රථයක ගැටී දළ ඇතකුගේ අඩි 5යි අඟල් 6ක් දිග වම් දළය කැඩී මහ පාරේ වැටී තිබියදී එම දළය සිය භාරයට ගත් හබරණ පොලීසිය විසින් අනතුර සිදු කළ රියැදුරා සහ ට්‍රක් රථය සිකුරාදා (7) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අනතුර සිදු වන්නේ ගලපිටගල 15/3 පාලම අසලදීය. අත්අඩංගුවට පත් ලොරි රථයේ රියැදුරා පවසා ඇත්තේ පාලම පසු කර ඉදිරියට එන විට එක්වරම මහ පාරට ප්‍රවේශ වූ වන ඇතකු බේරීමට වම් පසට වාහනය හැරවූ බවත්, කලබල වූ ඇතා ලොරි රථයට පහර දී තවත් වන අලින් දෙදෙනකු සමඟ කැලෑවට වැදී පැන ගිය පසු එක් දළයක් මහ මඟ වැටී තිබෙනු දුටු බවත්ය.
දළ පහර වැදී ලොරිය සිදුරු වී තිබිණු අතර, වනජීවී නිලධාරීන් පැවසූයේ ලොරි රථයට පහර දුන් ඇතාගේ වම් දළය රථයේ හිර වී තිබියදී එම රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් දළය කැඩී වෙන්ව ගොස් ඇති බවයි.
ඇතා රිටිගල රක්ෂිතය ප්‍රදේශයට ගමන් කර ඇති බවත්, මේ වන විට ඇතාගේ තත්ත්වය දැනගැනීම සඳහා සොයමින් සිටින බවත් එම නිලධාරීහු පැවසූහ.
අත්අඩංගුවට ගත් රියැදුරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.