Monday, April 21, 2025
Home » නිල් මහ සටනේදී රෙහාන් පීරිස් රාජකීය නම බබළවයි

නිල් මහ සටනේදී රෙහාන් පීරිස් රාජකීය නම බබළවයි

රාජකීයයෝ 289ට 7යි: තෝමසුවන් කිසිවකු නොදැවී 32යි

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

ප්‍රින්ස් ගුණසේකර

කොළඹ රාජකීය – ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල අතර මහාමාන්‍ය ඩී. එස්. සේනානායක අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන 146 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික ක්‍රිකට් තරගයේදී රාජකීය විදුහල කඩුලු 7කට ලබාගත් ලකුණු 289ට පිළිතුරු ලෙස සාන්ත තෝමස් විදුහල පළමු දිනය නිමාවෙද්දී කිසි‍වකු නොදැවී ලකුණු 32ක් ලබා සිටියේය.

කොළඹ එස්එස්සී පිටියේ දී ඊයේ ආරම්භවූ මේ තෙදින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත තෝමස් ක්‍රිකට් නායක කවිඳු ඩයස් මුලින් පන්දුවට පහරදීමට රාජකීය විදුහලට ආරාධනා කළ අතර, පළමු කඩුලු දෙක ලකුණු 29කට දැවීගොස් තිබියදී ආරම්භක පිතිකරු රෙහාන් පීරිස් වගකීම කරට ගෙන රාජකීය ඉනිම ඉහළට ඔසවා සිය යුතුකම ඉටු කළේය.

‍රෙහාන් එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් මිනිත්තු 306ක කාලයක් කඩුල්ලේ රැඳී සිට පන්දු 221කට මුහුණදී හයේ පහර 3ක් හා හත‍රේ පහර 21ක් එල්ල කරමින් අගනා ලකුණු 158ක් ලබා ගැනීමට සමත් විය. මේ අගනා ශතකය රෙහාන් පීරිස්ගේ පාසල් ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම වූ අතර, නිල් මහ සටනට කදිම ජීවයක් ගෙන දුන් අවස්ථාවක් විය.

රෙහාන් හා විමත් දින්සර අතර තෙවැනි කඩුල්ලට පන්දු 91කදී ලකුණු 150ක සබඳතාවක් ගොඩනැඟුණු අතර, විමත් ලකුණු 25කට දැවී ගියේය. අනතුරුව සිවුවැනි කඩුල්ලට රෙහාන් හා නායක රුමිරු පෙරේරා අතර පන්දු 66කදී ලකුණු 65ක සබඳතාවක් ගොඩනැඟී තිබියදී රුමිරු ලකුණු 15කට ක්‍රීඩාගාරයට ගියේය. දිනයේ හොඳම සබඳතාව වූ රෙහාන් හා තෙවිඳු වේවැල්වල අතර පන්දු 95කදී ලකුණු 153ක් එක්වෙද්දී තෙවිඳු අර්ධ ශතකයට ලකුණු 2ක් අඩුවෙන් තිබියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. එතැන් සිට රාජකීය ඉනිමේ ලකුණු වේගය තරමක් අඩුවී ගියේය.

සාන්ත තෝමස් ක්‍රිකට් නායක කවිඳු ඩයස් ඉනිමේ පළමු භාගයේදී කඩුලු 2ක් බිඳහෙළූ අතර, ඩැරන් ඩියාගෝ ඔහුට සහය ‍‍වෙමින් හිසරදයක්ව තිබූ රෙහාන් පීරිස්ගේ කඩුල්ල සමඟ කඩුලු දෙකක් බිඳහෙළා ගත්තේය.

දිනය නිමාවෙද්දී සාන්ත තෝමස් විදුහලේ ආරම්භක පිතිකරුවන් වූ අවිනාශ් ප්‍රනාන්දු නොදැවී ලකුණු 18ක් හා ජාඩේන් අමරවීර නොදැවී ලකුණු 14ක් ලබා සිටියහ. මේ මහ තරගයේ දෙවැනි දිනය අදයි.

රාජකීය විදුහල පළමු ඉනිම කඩුලු 7කට ලකුණු 289 (ඕවර 78) රෙහාන් පීරිස් 158, හිරුන් ලියනාරච්චි 9, ඉසුල ගීගනගේ 4, විමත් දින්සර 25, රුමිරු පෙරේරා 15, තෙවිඳු වේවැල්ලගේ 48, යසිඳු දිසානායක නොදැවී 25, සෙහඳු සූරියාරච්චි 1, රනුක මල්ලවාරච්චි නොදැවී 4 (කවිඳු ඩයස් 71/2, ජඩේන් අමරවීර 30/1, අන්ශේන් ද සිල්වා 65/1, ඩැරන් ඩියාගෝ 43/2, දිනෙත් ගුණවර්ධන 60/1)

සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම කිසිවකු නොදැවී ලකුණු 32 (ඕවර 10) අවිනාශ් ප්‍රනාන්දු නොදැවී 18, ජාඩේන් අමරවීර නොදැවී 14

ඡායාරූප – හිරන්ත ගුණතිලක සහ රංජිත් අසංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT