Home » මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

බදුල්ල - නිශාන්ත අබේගුණවර්ධන

මෙරට නිෂ්පාදනය කළ බව කියන රිවෝල්වර ගිනිඅවියක් සමඟ සැකකරුවෝ දෙදෙනෙකු පෙරේදා (05) පස්වරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මහියංගණය පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගිනිඅවිය ළඟ තබාගත් බව කියන අංක 40 කාර්මික ජනපදය, මහියංගණය ලිපිනයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකු සහ ගිනිඅවිය නිෂ්පාදනය, බව කියන පදියතලාව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකි.

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතා හට ලද තොරතුරක් මත ඔහුගේ උපදෙස් පරිදි මෙම විශේෂ පොලිස් කණ්ඩායම විසින් පළමු සැකකරුගේ මහියංගණය කාර්මික ප්‍රදේශයේ ඇති නිවෙස පරීක්ෂාකොට ඇති අතර, එහිදී නිවෙසට යාබදව කම්හලක් පවත්වාගෙන යන ස්ථානයේ සඟවා තිබු ගිනිඅවිය සොයා ගැනීමට හැකිවූ බව ඔවුහු පවසති. එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පදියතලාව ප්‍රදේශයේ ගිනිඅවි නිෂ්පාදනය කරනු ලබන අයෙකුගෙන් මෙම අවිය ලබාගත් බව පවසා ඇති අතර, ඒ අනුව ඉන් හෝරා කිහිපයකට පසු එම සැකකරු ද අත්අඩංගුවට ගැනීමට මෙම පොලිස් කණ්ඩායම කටයුතු කර ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තමා කලක සිට වන සතුන් දඩයම් කිරීමට අවශ්‍ය කොටන තුවක්කු, බඳින කඳන් ආදී ගිනිඅවි නිෂ්පාදනය සිදු කළ බවත් යූටියුබ් නාළිකාවක තිබූ වීඩියෝවක් නැරඹීමෙන් පසු මෙම ගිනිඅවිය නිෂ්පාදනය කළ බවද පොලීසිය වෙත පවසා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මහියංගණය පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කළ බවද පොලීසිය තවදුරටත් සඳහන් කළේය. මහියංගණය පොලීසිය වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන අතර, සැකකරුවෝ මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT