අසලට යන පඩිපෙළත් අලුත් වෙයි
සංචාරකයන්ට මෙතෙක් කලක් ගොඩබිමින් ගොස් නැරඹීමේ හැකියාව තිබූ හුම්මානය මුහුදට ගොස් නැරඹිය හැකි වන පරිදි බෝට්ටු සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව හුම්මානයේ මෙහෙයුම් කාර්යාලයේ භාරකාර ගයාන් බුද්ධික මහතා පැවසීය.
දිනකට දෙස් විදෙස් සංචාරකයෝ සිය ගණනක් හුම්මානය නැරඹීම සඳහා පැමිණෙති. ලෝකයේ පවතින හුම්මාන අතුරින් මෙම හුම්මානයට දෙවැනි ස්ථානය හිමි වන බවට මතයක් පවතී. මාතර සිට තංගල්ල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ 180 සහ 181 වන කිලෝමීටර් කණු අතර පිහිටි කුඩාවැල්ල උප නගරයෙන් දකුණට වැටී ඇති මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ගිය තැන කුඩා කඳු ගැටයකදී මෙම දැකුම්කලු හුම්මානය හමුවේ. නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමඟ රළු බවට පත්වන මුහුදු රළ මෙම කඳු කපොල්ල තුළට වැදීමෙන් මතු කරන ජල දහරාව සහ හූ හඬට සමාන ශබ්දය හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආදරයත්, ඇලුම්බවත් දිනා ගැනීමට හුම්මානය සමත්ව තිබේ.
තංගල්ල ප්‍රාදේශීය සභාව මඟින් මෙම නැරඹුම් ස්ථානය ආරක්ෂා කරන ලදුව නඩත්තු කරන අතර, පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා පහසුකම් සැලසීම ද සිදු කරන බව ඒ මහතා සඳහන් කළේය. හුම්මානය අසලට යන එන මඟ සිමෙන්ති නිමාවෙන් පඩි පෙළක් සකස් කර ඇති අතර, සංචාරකයන්ගේ වෙහෙස නිවා ගැනීමට හා ලැගුම් ගැනීම සඳහා පහසුකම් ඇති කුටියක් ද ඉදිකර තිබේ. විදේශීය සංචාරකයන්ට වෙනම වැසිකිළි පද්ධතියක් සකස් කර ඇති අතර, දේශීය සංචාරකයන් සඳහා වෙනම වැසිකිළි පද්ධතියක් ද ඉදිකර ඇත. පිරිසුදු පානීය ජලය ජාතික ජල සම්පාදන නළ පද්ධතියකින් සපයා තිබේ. දේශීය සංචාරකයකුගෙන් රුපියල් 50ක ගාස්තුවක් සහ විදේශීය සංචාරකුයන්ගෙන් රුපියල් 500ක ගාස්තුවක් එක් නරඹන්නකු වෙනුවෙන් අය කිරීමට මෙහි පිහිටි ස්ථානභාර නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත.