තවත් ජාත්‍යන්තර කාන්තා දිනයක් හෙට ( 08 ) උදාවේ. මිත්තණියක, මවක, බිරිඳක, දියණියක, සහෝදරියක, යෙහෙළියක, සේවිකාවක ආදී විවිධ භූමිකාවන්ට පණ දෙන කාන්තාව පිළිබඳ කථිකාව හෙට දිනයේ දී යම් පමණකින් හෝ සාකච්ඡාවට බඳුන් වනු ඇත. සමහරෙකුට හෙට දිනය විරෝධතා දැක්වීමටත් සැමරුම් පැවැත්වීම සඳහාත් පාදක වන විට සාතිශය බහුතරයට එය තවත් එක් දිනයක් පමණක්ම වී තිබේ. දිවිය සරි කිරීම සඳහා වැඩබිමේදී, කම්හලේ, ගොවිබිමේ, මහමඟ දහදිය හෙළන මෙරට ලියන් අපමණකට කාන්තා දිනයක් පිළිබඳව කවර හෝ විශේෂයක් ඇතැයි සිතිය හැකි නොවේ. මේ එසේ හෙටත් සුපුරුදු ජීවිත සටනෙහි නියුතු ලියන් කිහිපදෙනෙකු හා කළ කතාබහක සටහනක්ය.
මේ ලියන් හැමෙකෙකු ළඟම වෙනස් කතාවක් ඇත. ඒ බොහෝ කතාවන්හි දුක වැඩිය. සතුට අඩුය. අනුරාධපුරයේ ප්‍රධානතම වාරි ජලාශයක් සේ සැලකෙන රාජාංගණය ජලාශය ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ නියැළෙන දිරිය ලියන්ගේ දසුන මෙකලෙහි සුළභ වී තිබේ. විටෙක ඔවුහු ගිනිදහාන අව්වේ කරවල වියැළීමේ නියැළෙති. තවත් විටෙක ඔරුවේ නැඟී මසුන් සොයා වැව්දිය පීරති. දුෂ්කරතා සපිරි ජීවන සටනට කුමන හෝ අන්දමක සවියක් වීමට ඔවුහු වෙහෙසෙන්නාහ. කලක් තිස්සේ මෙහි දිවි ගෙවන ‘සදුනි ඉරේෂා’ මහත්මිය පැවසුවේ මෙවැනි අදහසකි.
“අපිට ඔරුවකට ගොඩවෙලා දැලක් එළලා මාළු ටිකක් අල්ල ගන්න එක දැන් ලොකු දෙයක් නෙමෙයි. අපි මේ ජීවිතේට හුරුවෙලා ඉන්නේ. අපි ධීවර රස්සාව කරලා ජීවත් වුණාට අපිට කිසිම කෙනෙක්ගෙන් උදව්වක් නෑ. අපිව හැම තැනකදීම කොන් කරනවා. මේ රස්සාව කරලා දරු පැටව් ජීවත් කරන අපිව හැමෝටම අමතක වෙනවා. දහදුක් විඳලා හම්බ කරන කීයෙන් හරි තමයි ඔරුවක්, දැලක් ගන්ඩ වෙලා තියෙන්නේ. පොඩ්ඩ බැරිවෙන කොට එහෙම දුක් විඳලා ගන්න දැල් හොරු කපන් යනවා. අවුරුද්දකට එක දවසක් විතරක් අපි ගැන කතා කරලා වැඩක් නෑනේ. අඩුම තරමේ රස්සාව කරගන්ඩ දැල් ආම්පන්න ටිකක්වත් ලැබෙනවා නම් ලොකු දෙයක්.”

මුල් වරට කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇති ක්ලාරා සෙට්කින් මහත්මිය
අනුරාධපුරයේ, මහවැලි එච්. කලාපයේ, තඹුත්තේගම, තිස්පනේපුර ගම්මැද්දට වී ගොවිතැනින් දිවි ගෙන යන ‘ඩබ්ලිව්.එච්.එම්. සමන්තිකා’ මහත්මිය ජීවිතය දෙස උපේක්ෂාසහගතව බලන්නීය. ඇය සිය සැමියාගේ එළවළු වගාවට අත දෙමින් දවස ගත කරයි. සැමියා සමඟ හිමිදිරි උදෑසන ගොවි බිමට යන ඇය වරෙක උඩ පැලට වී නිදි වර්ජිතව රැය පහන් කරනුයේ වනඅලින්ගෙන් වගාවට සිදුවන හානිය වළකනු සඳහාය. සිය ආදරණීය සැමියාත්, දියණිය සහ පුතු සමඟ ගොවිබිමේ ගෙවීයන සිය දිවිසැරිය පිළිබඳව අය පැවසුවේ මෙවැනි අදහසකි.
“ගොවිතැන් කරන එක කොයිතරම් නිදහස් රස්සාවක්ද කියන එක විස්තර කරන්ඩ බැරි තරම්. කාගෙන්වත් බලපෑමක් ඇත්තෙත් නෑ. කාටවත් කරදරේකුත් නෑ. කවුරු නැති වුණත් මේ මහ පොළොව ගොවිතැන් කරන මිනිස්සු විදිහට අපිට පිටුපාන්නෑ. දුක් මහන්සි වෙලා ගොවිතැන් කරන මිනිස්සු නැත්නම් අනිත් හැමෝම බඩගින්නේ. අපි පවුලේ හැමෝම එකට වැඩ කරන නිසා මේ ජීවිතේ මට නම් මහා දුකක් නෙමෙයි.”
සිය පවුලට සවියක් වෙමින් දෙදරු මවක වන තලාවේ ‘අනෝමා ප්‍රියදර්ශනී ඒකනායක’ මහත්මිය විහාර කර්මාන්තයට අදාලව විවිධ තේමාවන් ඔස්සේ දැකුම්කලු සිතුවම්කරණයේ සහ මූර්තිකරණයේ නියැළෙන්නීය. ඇය තම පවුල ජීවත් කරවීම උදෙසා මේ මාහැඟි කලාව සමඟ වෙහෙසෙයි. ඇය සිය දිවිසැරිය පිළිබඳව මෙසේ කරුණු කීවාය.
“මං කාගෙන්වත් විශේෂයෙන් කියලා මේ කර්මාන්තේ ඉගෙනගත්තේ නෑ. දැන් අවුරුදු කීපයක් තිස්සේ මේ වැඩ කරගෙන යනවා. පන්සල්වලට, දේවාලවලට එහෙම ඕන කරන චිත්‍ර, මූර්ති, කැටයම් වගේ හැම නිර්මාණයක්ම අපි කරනවා. මේ රස්සාව කරන ගෑනු අය ගොඩක් අඩු නිසා අපි මේ කර්මාන්තේ පවත්වාගෙන යන එක ගැන සමහරුන්ට පුදුමයි. මේ රස්සාව නිදහස්. අපේ හැකියාවෙන් අපි ආදායමක් හොයාගන්නවා. එදිනෙදා වියදම් පියවගෙන ජීවත් වෙනවා. හොයන මුදල මදි. ඒත් කරන්ඩ දෙයක් නෑ. අපේ පාඩුවේ රස්සාව කරගෙන අපි ජීවත් වෙනවා.”
ගල්ගමුව නගරයට ඔබ්බෙන් පිහිටි සුප්‍රකට රැස්වෙහෙර පන්සලට එන වන්දනාකරුවන්ට නෙළුම් මල්, එළවළු, පලතුරු ආදිය විකුණා කීයක් හෝ උපයා ගැනීමේ අවස්ථාව යාබද ගැමි ලියන්ට උදාවේ. එහෙත් එය එතරම් සරු වෙළෙඳාමක් නොවන්නේ පොහොය දිනයකට හැරුණු විට සති අන්තයේ හෝ එතරම් පිරිසක් මෙහි නොයෙන බැවිනි. මෙහි ගැමියන්ගේ දවස ගෙවී යනුයේ හේන් වගාව ඇසුරෙනි. ඒ කටුක ජීවන පෙවෙතට යම් පමණක හෝ සරණක් වී ඇත්තේ මේ කුඩා වෙළෙඳාම පමණකි. සිය දිවිසැරිය පිළිබඳව ‘චාන්දනි සිරියලතා’ මහත්මිය පැවසුවේ වෙනස්ම අදහාසකි.
“ඇත්තටම මෙතැන වෙළෙඳාම් කරපු ගොඩක් අය දැන් ඒ වැඩේ අත්ඇරලා දාලා තියෙන්නේ, වෙළෙඳාමක් නැති හින්දම. අපි කීපදෙනෙක් තමයි ඔය මෙතැනට වෙලා කීයක් හරි හොයාගන්ඩ බලන්නේ. මං දැන් අවුරුදු දහයක් විතර තිස්සේ පලතුරු, මුං, කව්පි වගේ දේවල් තියාගෙන විකුණනවා. සමහර දේවල් ගමෙන් හොයාගන්වා, තව දේවල් අපි සල්ලි දීලා අරන් එනවා. සමහර එළවළු, පලතුරු දවස දෙක යනකොට සවුත්තු වෙනවා. එතකොට අහක දාන්ඩ වෙන්නේ. මනුස්සයෙක් මෙතැනට එනව නම් අපෙන් මොනව හරි ගන්නවා. මේක තමයි අපේ ජීවිතේ.”
කාන්තා දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත්කිරීමේ අදහස ඉදිරිපත් කර ඇත්තේ කොමියුනිස්ට් ක්‍රියාකාරිනියක සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි “ක්ලාරා සෙට්කින්” නමැති කාන්තාව විසින් බව සඳහන් වේ. 1910 වසරේ දී කෝපන්හේගන්හි වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සමුළුවක දී ඇය මෙම අදහස යෝජනා කළාය. එම සමුළුවට රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වී සිටි අතර, ඔවුන් ඇගේ යෝජනාවට ඒකමතිකව එකඟ වී තිබේ.
1911 වසරේ දී ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල එය මුලින් ම සමරනු ලැබිණි. එහි ශතක පූර්ණ සංවත්සරය සමරනු ලැබුවේ 2011 වසරේ දී ය. 1975 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය සැමරීමත් සමඟ එය නිල වශයෙන් සමරන ජාත්‍යන්තර දිනයක් ලෙස පිළිගනු ලැබිණි. එහෙත් මෙරට සාම්ප්‍රදායික ජන සම්ප්‍රදායට පණ දෙන මේ ලියන්ට මහ මඟ අරගල කිරීමට වේලාවක් නැත. ඒ ඔවුනට කිරීමට අවැසි තරම් වැඩ ඇති හෙයිනි. ඔවුනට සම තැන පිළිබඳව ගැටලුවක් ඇත්තේද නැති තරම්ය. ඒ ඔවුනට හිමි නිසි තැන ඔවුන් විසින්ම ගොඩනඟා දෙනු ඇති බැවිනි.
තඹුත්තේගම විශේෂ – ඩබ්ලිව්. ප්‍රදීප්