Home » RIDE COLOMBO-25 කාන්තා පාපැදි සවාරිය හෙට

RIDE COLOMBO-25 කාන්තා පාපැදි සවාරිය හෙට

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

නුවන් කොඩිකාර

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව Across Ceylon ආයතනය සංවිධාන කරන ‘Ride Colombo-25’ කාන්තා පාපැදි සවාරිය හෙට (08) පෙරවරු 8.00ට ගාලුමුවදොරින් ආරම්භ කෙරේ.

මේ සඳහා දෙස් විදෙස් කාන්තාවන් 200ක පමණ සංඛ්‍යාවක් සහභාගි වනු ඇතැයි Across Ceylon ආයතනයේ සාමාන්‍යාධිකාරී ෂයාරා ඉවන්ජාලි මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසුවේ පෙරේදා (05) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙලෙස ද කීවාය.

“කාන්තාවන් සවිබලගැන්වීම, සමානාත්මතාව සහ ක්‍රියාශීලී ජීවිතයක් ප්‍රවර්ධනය කිරීමට ශක්තියක් දීම මෙහි අරමුණයි. ගාලුමුවදොරින් ආරම්භ කර කිලෝමීටර් 10ක දුරක් මේ සවාරිය ගමන් ගෙන ගාලුමුවදොරින්ම අවසන් වෙනවා. පසුව සවස් වරුවේ විවිධ අංගවලින් සමන්විත සැණකෙළියක් පවත්වනවා.

FEEL LANKA පදනම සහ Across Ceylon ආයතනය එක්ව සංවිධාන කරන මේ විශේෂ වැඩසටහන පාපැදි ධාවනයට පමණක් සීමා නොකර කාන්තා නායකත්වය සවිබලගැන්වීම මෙන්ම විදේශ සංචාරකයන්ට සංචරණය සඳහා ශ්‍රී ලංකාව හිතකර රටක් බව තහවුරු කිරීමත්, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව වර්ධනය කරන ව්‍යාපාරයක් බවට පත් කිරීමත් කෙරෙහි මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

Ride Colombo-25 සඳහා ලියාපදිංචි ගාස්තු සහ ප්‍රවේශ පත්‍රවලින් ලැබෙන මුදල සියයට සියයම මේ වැඩසටහනට වැය කෙරෙනවා. සමාන අදහස් සහිත සංවිධාන ලෙස FEEL LANKA කාන්තාවන්ට සංචාරක නියෝජිත ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ අනාගතය ගොඩනැඟීමට උපකරණ සහ දැනුම දීමට උත්සාහ ගන්නවා.”

FEEL LANKA පදනමේ නිර්මාතෘ මධුර ධර්මරත්න මහතා,

“මේ සවාරියට වයස අවුරුදු 18ට වැඩි ඕනෑම කාන්තාවකට සහභාගි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රටවල් රැසක කාන්තාවන් මේ සඳහා එක්වෙන්න ලියාපදිංචිවී සිටිනවා. ගුවන් හමුදාවේ පාපැදි කණ්ඩායමත් එක් වෙනවා. මෙහිදී ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සංචාරක අංශය සමඟ එකතුවී විවිධ නිර්ණායක උපයෝගි කරගෙන තෝරා ගත් කාන්තාවන් දෙදෙනකුට පාපැදි දෙන්න කටයුතු කරනවා. වැඩි වශයෙන් විදේශිකයන් මේ සඳහා සහභාගි වුණොත් තමයි කියන්න පුළුවන් අපේ රට සංචාරක සංචරණය සඳහා සුදුසුයි කියලා. එම නිසා මෙය සාර්ථක වැඩසටහනක් වෙයි කියා බලාපොරොත්තු වෙනවා.”

ඡායාරූපය -චින්තක කුමාරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT