මෙවර රාජ්‍ය වෙසක් දින සැමරුම් උත්සවය මැයි 12 වැනි වෙසක් පුන් පොහෝ දින (භජේථ මිත්තේ කල්‍යාණේ ) “කල්‍යාණ මිතුරන් ඇසුරු කරන්න” තේමාවෙන් නුවරඑළියේදී පැවැත්වේ.
රාජ්‍ය වෙසක් මහෝත්සවය සැමරුම පිළිබඳ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ.
ජාතික වෙසක් සතිය මැයි 10 සිට 16 දින දක්වා
බෞද්ධ ප්‍රබෝධය ඇතිවන පරිදි සියලු ජන වර්ගයන්හි සහභාගිත්වයෙන් යුතුව සැමරිය යුතු බව ද එහිදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා එහිදී ප්‍රකාශ කළේය.
රාජ්‍ය වෙසක් මහෝත්සව සැමරුමට සමගාමීව තෝරා ගත් විහාරස්ථානවල භෞතික සංවර්ධන කටයුතු කිරීමටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහ දිවයිනේ අනෙකුත් දහම් පාසල්වලට පහසුකම් වැඩිදියුණු කිරීමටත් නියමිතය.
ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සීල භාවනා වැඩසටහන්, සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, සංස්කෘතික වැඩසටහන්, භික්ෂු හා සිල්මාතා පුහුණු වැඩසටහන්, අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන්, භක්ති ගීත හා බොදු ගීත ගායනා වැඩසටහන් සහ පුරාවිද්‍යා ප්‍රදර්ශන ආදියෙන් සමන්විතව මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සව සැමරුම පැවැත්වීමට නියමිත බව පැවැති සාකච්ඡාවේදී අවධාරණය විය.
මෙම සාකච්ඡාවට නුවරඑළිය දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ඔකඳගල චන්දාලෝක ස්වාමීන්වහන්සේ සහ නුවරඑළිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය කිරිඔරුවේ ධීරානන්ද ස්වාමීන්වහන්සේ වැඩම කළ අතර, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.