අයකර ගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවකදීය. එය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරේදා (05) පැවැත්විණි.
මෙම වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර ගැනීමට ගත යුතු ක්‍රමෝපාය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොලැබෙන ආදායම් ලබා ගැනීමට දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයට වඩා මැදිහත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අයකර ගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කර ගැනීමට කටයුතු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් ආර්.පී.එච්. ප්‍රනාන්දු මහත්ම, මහත්මීන් ඇතුළු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.