මෙවර දළදා දැක්ම නැරඹීමට අවම තරමින් ලක්ෂ 20ක පමණ බැතිමතුන් සංඛ්‍යාවක් මහනුවරට පැමිණෙනු ඇති බවට අනුමාන කෙරෙන බව දළදා දැක්මේ සංවිධාන කටයුතු සම්බන්ධව ඊයේ (06) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.
දින 10ක් තුළ දළදා දැක්ම පැවැත්වෙන කාලසීමාවේ දී තත්ත්පරයට තිදෙනා බැගින් දළදා වහන්සේ වන්දනා කරන බවට අනුමාන කළත් එම කාලය තුළ දළදා මාලිගය තුළට ඇතුළු වීමට හැකියාව ඇත්තේ ලක්ෂ 6ක පමණ පිරිසකට බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පැවසීය.
මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන හැකි තරම් විශාල පිරිසකට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව ලබාදිය යුතුව තිබෙන බවද ඒ මහතා කීය.
මෙම සාකච්ඡාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් මහතාගේ ප්‍රධානත්වෙයන් පැවැත්විණි.
අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන, මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික මහවෙල රතනපාල නාහිමිවරු ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
දළදා දැක්ම නැරඹීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීම, නගරය ආලෝක කිරීම, යටිතල පහසුකම් සුපරාලීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.
බැතිමතුන් සඳහා දන්සල් ලබාදීම සිදුකළ හැක්කේ නගර සභාවේ ලියාපදිංචි වීමෙන් පමණක් බව මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා කීය.
මහනුවර වැව රවුමේ සිට රතු බෝක්කුව දෙසින් මහාමායා බාලිකාව ඉදිරිපිටින් ද අවන්හල දෙස සිට උල්පැන් ගේ අසලින් වැව රවුමේ ඔස්සේ ද මහනුවර ඩී. එස්. සේනානායක වීදිය දෙසින්ද පෝලිම් 3ක් ඔස්සේ ජනතාව මහමළුවට ඇතුළු කරගන්නා බවත් ඔවුන් සියලු දෙනා අවස්ථා 2ක දී පරීක්ෂාවට ලක්කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසුවේය.
දළදා දැක්ම පැවැත්වෙන කාලසීමාවේ දී මහනුවර නගරයේ පාසල් වසා තැබෙන බවත් ඒ වෙනුවට හිලව් ලෙස එම පාසල් ඉදිරි දිනවලදී පැවැත්වීමට තීරණය කර තිබෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් මහතා කීය.
නගර සීමාවේ සියලුම මත්පැන් අලෙවිසල් හා මස්කඩ වසා දැමීමට ද තීරණය කර ඇතැයි ඒ මහතා පැවසුවේය.