අධිකරණ නියෝගයකින් අත්අඩංගුවට ගැනීමට සොයන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඔහුට සැඟවී සිටීමට යම් අයෙක් උදව් කරන්නේ නම් ඒ අය සම්බන්ධයෙන් ද දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා පැවසීය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මේ වනවිට නීතියට අවනත නොවී දේශබන්දු තෙන්නකෝන් සැඟවී සිටින බවද ඔහු පැවසීය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට රටින් පිටව ගොස් ඇතැයි තොරතුරු ලැබී නොමැති බවත් ඔහු සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක් ලබාගෙන ගුවන්තොටුපළවලට ලබාදී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අධිකරණ නියෝගයකට අවනත නොවී පැන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ක්‍රමවේදය යටතේම දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවද පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, විශේෂ සැලකිල්ලක් එම පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය නොදක්වන බවද සාමාන්‍ය පුද්ගලයකුට අත්අඩංගුවට ගන්නා ආකාරයටම ඔහුවද අත්අඩංගුවට ගන්නා බවද කියා සිටියේය.
ඔහුගේ දුරකතන වාර්තාද පරීක්ෂාකර ඇති අතර විදෙස් ගමන් තහනමක්ද ලබාගෙන ඇත. වෙනදාට වඩා වෙහෙසක් රැගෙන හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කරනු ලැබුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.