ජාත්‍යන්තර ජනගහන අරමුදල ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ මෙන්ම ගැහැනු ළමුන්ගේ සුබසිද්ධිය උදෙසා කැපවී සිටින ජාත්‍යන්තර ආයතනයකි. කාන්තාව, කුටුම්භයක ප්‍රධානතම සාධකය වන අතර ඇයගේ සේවාව, කැපවීම සහ ධෛර්යය නොමැතිව පවුලකට නැඟී සිටීම අසීරු බව කාගෙත් පිළිගැනීමයි. එසේ කුටුම්භයට වැදගත් වූ කාන්තාව රැකගැනීම තුළින් රටක සමාජයීය රැකවරණය සැලසෙන්නේ නිතැතිනි.
මේ අවශ්‍යතාව හඳුනාගත් ජාත්‍යන්තර ජනගහන අරමුදල කාන්තාවන්ගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රතිපත්ති, සේවා සහ ප්‍රජා මැදිහත්වීම් ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ.
කාන්තාවක් වීම හේතුවෙන් මුහුණදීමට සිදුවන පහරදීම්, ලිංගික අතවර, චරිත ඝාතනය, වාචිකව සිදුවන දූෂණය, පීඩනය සහ සාහසිකව ඝාතනයවීම වැනි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජනය පෙනී සිටියි. අනෙක් වැදගත්ම කරුණ නම් සෞඛ්‍ය සේවාවන් සඳහා කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට අවශ්‍ය පහසුකම් සපයාදීමයි.
තරාතිරමකින් තොරව පොදුවේ කාන්තාව ලබාගැනීමට පැකිළෙන ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය තොරතුරු සේවාවන්ට අවශ්‍ය මාවත සකස් කර දීම, ඒ සඳහා ඔවුන්ව යොමු කරවීම මේ ආයතනය මඟින් සිදුකෙරේ. ඒ තුළින් ශක්තිමත් වන කාන්තාවගේ වෙනත් හැකියාවන් වර්ධනය වීම නොරහසකි. මේ නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ සමස්ත සංවර්ධනයට ද ක්‍රමානුකූලව දායක වීමට කාන්තාවට හැකිවන බව ජාත්‍යන්තර ජනගහන අරමුදලේ සහතිකයයි.
මෙම වසර වනවිට ප්‍රධාන රාජ්‍ය ආයතන, පරිත්‍යාගශීලීන් සහ හවුල්කරුවන් සමඟ සහයෝගයෙන්, දිවයින පුරා කාන්තා හා ළමා පොලිස් ඒකක 14ක හදිසි රැඳී සිටීමේ ප්‍රදේශ පිහිටුවීමට ජාත්‍යන්තර ජනගහන අරමුදල සහාය ලබා දී ඇති අතර, දිවි ගලවා ගත් අයට ආධාර ලබා ගැනීමට ආරක්ෂිත ස්ථාන ද සපයාදී තිබේ.
විවිධ වූ ප්‍රචණ්ඩත්වයන්ට ලක්වූ කාන්තාවන් සහ ගැහැනු ළමුන් ආරක්ෂිතව රඳවා තබන ස්ථාන පුළුල් කිරීම, මානසික සුවසේවා මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය සහ ‘මිතුරු පියස’ වැනි පියවර තුළින් ජීවිතය ගලවාගත් අයට නීතිමය, වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය සේවා සපයා දී තිබේ.
මේ වනවිට එවැනි ආරක්ෂිත නවාතැන් 13ක් ප්‍රතිසංස්කරණය කර ඇති අතර ආබාධ සහිත කාන්තාවන් සඳහා නුවරඑළියේ අලුත් නවාතැනක් ද සපයා දී තිබේ.
ප්‍රචණ්ඩත්වයට ලක් වූ කාන්තාවන් සහ ගැහැනු ළමුන් සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීමට අමතරව ඔවුන්ට අවශ්‍ය නීතිමය රැකවරණය, නීතිමය උපදෙස් ලබාදීම සහ ඒ සඳහා අවශ්‍ය ආයතනවල සහායෝගය ද ලබාදේ. එහිදී අදාළ අංශයන් දැනුම්වත් කිරීම සහ ඔවුන්ගේ සහාය ඉල්ලා දීම ද සිදුකෙරේ.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මෑතකදී ලිංගික සහ ස්ත්‍රී – පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට එරෙහි ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම II දියත් කළේය. එය ජාත්‍යන්තර ජනගහන අරමුදල ශ්‍රී ලංකාවේ නියෝජිතයන්ගේ මැදිහත්වීම මත ලද ජයග්‍රහණයකි.
ඉදිරියේදී ද කාන්තාවන් සහ ගැහැනු ළමුන් මුහුණපාන ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ උත්සාහයන් පුළුල් කිරීමටත්, දිවි ගලවා ගත් අය සඳහා ශක්තිමත් ආරක්ෂණ යන්ත්‍රණයක් සකස් කිරීමටත් ජාත්‍යන්තර ජනගහන අරමුදල සහතික වේ. ප්‍රචණ්ඩත්වයෙන් තොරව සමාජයේ ජීවත් විය හැකි, සමෘද්ධිමත් වීමට සමාන අවස්ථා ඇති අනාගතයක් වෙනුවෙන් පෙනී සිටින කාන්තාවන් සහ ගැහැනු ළමයින්ගේ හඬ වැඩි කිරීම ජාත්‍යන්තර ජනගහන අරමුදලේ අරමුණයි.
ඉරෝෂා දීපානි