Home » කාන්තාව යනු දෙවෙනි පෙළ පුරවැසියෙක් නොවෙයි

කාන්තාව යනු දෙවෙනි පෙළ පුරවැසියෙක් නොවෙයි

කාන්තා දිනය හෙටයි

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

(හෙටට (මාර්තු 08) යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් රජයේ වැඩපිළිවෙළ හා කාලීන දේශපාලනය පිළිබඳ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සමඟ කළ කතාබහ ඇසුරින් මෙම ලිපිය සැකසිණි.)

කාන්තා හා ළමා කට­යුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්

කාන්තා හා ළමා
කට­යුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්

මාර්තු 2 සිට 08 දක්වා කාන්තා සතියක් ප්‍රකාශයට පත්වුණා. ඒ සමඟ ක්‍රියාත්මක වුණු වැඩසටහන් මොනවද?

“අපේ තේමාව වුණේ ‘තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක් ” යන්නයි. සවිබලගැන්වුණු කාන්තාවන් සමඟ රටේ අනාගතය වඩා යහපත් තැනකට ගෙනඑන එක තමයි අරමුණ වෙන්නේ. ජනාධිපතිවරයාගේ ප්‍රධාන සංකල්පය ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම. ක්ලීන් ශ්‍රී ලංකා සහ ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැංවීමයි. මේ කාරණයත් සමඟ අපි කාන්තා සතියේ දින 7ට තේමා 7ක් එක්ක වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කළා. දැනටමත් කරමින් ඉන්නවා.

“ කාන්තා ව්‍යවසායකත්වය මඟින් ගොඩනඟමු දැය”, “කාර්යක්ෂම ශ්‍රම සම්පතක් -ගෞරවනීය වෘත්තියක්”, රැකියා වෙළෙඳපොළ තුළ කාන්තා දායකත්වය ඉහළනැංවීම අප එයින් බලාපොරොත්තු වෙනවා. “නීරෝගි කතුන් දැයට සවියක්” දින තේමාවට අනුව සෞඛ්‍ය සායන හා දැනුම්වත් කිරීම් එක්ක වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. කොළඹ, විහාරමහාදේවි උද්‍යානයේ කාන්තා ව්‍යවසායකයන්ගේ පොළක් 5 – 6 යන දෙදින තුළ පැවැත්වුණා. “ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන තුළ කාන්තා භූමිකාව” යටතේ ඊළඟ දිනය ක්‍රියාත්මකයි. අනතුරුව “ ප්‍රීතිමත් පවුලක් – වින්දනීය ජීවිතයක්” කියන වැඩසටහන. ඒ වගේම 07 වැනිදා සුහුරුපාය පරිශ්‍රයේදී ජාතික කාන්තා දින සැමරුම් උත්සවය පැවැත්වෙනවා. අවසාන වශයෙන් 8 වැනිදා ‘දැනුම්වත් වෙමු කාත්නා අයිතිවාසිකම් පිළිබඳ” කියලා හදිසි ඇමතුම් අංක ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. 1929 ළමයින්ට එරෙහි හිංසන හා 1938 කාන්තා හිංසන ක්‍රියා පිළිබඳ හදිසි ඇමතුම්. මේවා කලින් හඳුන්වාදී තිබුණත්, දරුවන් හෝ කාන්තාවන් එතරම් දැනුම්වත්භාවයක් පෙන්නුම් නොකරන නිසා මේ සතිය තුළම මේ ගැන වඩවඩාත් දැනුම්වත් කරන්න බලාපොරොත්තු වෙනවා.”

කොළඹට සීමා වුණු මෙම වැඩසටහන් ගමට ගෙනියන වැඩපිළිවෙළක් තියෙනව ද?

“මේ වැඩ සැලැස්ම සෑම ප්‍රා.ලේ. කාර්යාලයකටම යවලා තියෙනවා. ඒ සෑම කාර්යාලයකම අමාත්‍යාංශයේ කාන්තා කාර්යාංශය හරහා ක්‍රියාත්මක වන ගම් මට්ටමේ කාන්තා සමිති තියෙනවා. ඒ කාන්තා බලමණ්ඩලවල මේ වැඩසටහන ක්‍රියාක්මක වෙනවා.”

මෙවර අය-වැය තුළින් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සඳහා මොන වගේ ඉඩක් ද වෙන්වෙන්නේ?

“අපි බලාපොරොත්තු වූ ප්‍රමුඛතම කාරණයක් සපුරා ගැනීමට හැකිවී තිබෙනවා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට වෙන්වෙන මුදලකින් පමණක් මේ විෂය ගොඩගන්න බෑ. බොහෝ අමාත්‍යංශ සමඟ මෙහි කටයුතු අන්තර් සබඳතාවක් පවතිනවා. උදාහරණයක් විදිහට ළමයින්ට, කාන්තාවන්ට සිදුවන හිංසන ගත්තම ඒවා වැළැක්වීම මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමඟ බැඳී තිබෙනවා. කාන්තාවන්ගේ සෞඛ්‍ය හා පෝෂණ ආදී කාරණා සෞඛ්‍ය අමාත්‍යාශය සමඟ බැඳී තිබෙනවා. මේ නිසා මෙවර අය-වැයෙන් ඉතිහාසයේ අන් කිසිදාක සිදුනොවුණු විදිහට සෑම අමාත්‍යාංශයකම ළමා හා කාන්තා කටයුතු වෙනුවෙන් වැය ශීර්ෂයේ කොටසක් වෙන් කෙරෙනවා. මේක මීට කලින් වුණේ නෑ. ඒ නිසාම මේක ස්ත්‍රී -පුරුෂ සමාජභාවී අය-වැයක් කියලා හැඳින්වූවාට වරදක් නෑ. සෑම අම්මා කෙනකුගේම බලාපොරොත්තුව තමන්ගේ දරුවා සමාජයේ හොඳ තැනකට ගෙනඒමයි. ඒ සඳහා අධ්‍යාපනය, සෞඛ්‍යය හොඳ ජීවන මට්ටමක් සඳහා ප්‍රවාහනය ආදී සියල්ල වැදගත්. එනිසා මේ සියල්ලට සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා. ඒ නිසා අන් කවරදාටත් වඩා මෙවර අය-වැයෙන් විශේෂ අවධානයක් ලැබිලා තියෙනවා.”

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව “සම අයිතිවාසිකම්, සම ඉඩප්‍රස්තා හා සම බලය” යන්නයි. මේවා අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතයේ කාන්තාවන් සමඟ ගැළපීම අභියෝගයක් නෙවෙයි ද?

“පළවෙනි කාරණය නම් කාන්තා දිනය කියන්නේ සැමරුමක් නෙවෙයි. රාජ්‍ය නොවන සංවිධාන විසින් කාලයක් තිස්සේ කාන්තාවක් එකතු කරලා, සැමරුම් වැඩසටහනක්, උත්සවයක්, හෝ සාදයක් පැවැත්වුවා වෙන්න පුළුවන්. ඒත් මේක කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළ කාන්තාවන් විසින් දිනා දුන්නු දෙයක්. කාන්තාවගේ වැඩ කාලය, ශ්‍රමය, වැටුප, වැටුපේ අයිතිය, ශ්‍රමයේ අයිතිය, ශරීරයේ අයිතිය, ලිංගිකත්වය හා බැඳුණු කාරණා මේ සියල්ල එක්ව ජීවිතය ඉල්ලා සටන් කරපු අයගේ දිනයක්. සටන් කරන අයගේ දිනයක්. මේ නිසා අදටත් ඒ ප්‍රශ්න ටික ඒ විදිහටම තියෙනවා. උදාහරණයක් විදිහට ගතහොත් වැටුප සැලකිය හැකියි. කාන්තා ශ්‍රමය නොතකා හරින, ශ්‍රමය සූරාකන, වැටුපේ අයිතිය නොලබන, මූලික මිනිස් අයිතිවාසිකම් ලෙස අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය ආදී සේවාවන් නොලබන, විශාල අර්බුද ප්‍රමාණයක් එකට ගැටගැසී ඇති සමාජයකයි අපි ඉන්නෙ. ඉතිං මේක සැමරුමක් නෙවෙයි, අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ කතා කරන දවසක්. අපට කාන්තාවන් සවිබලගන්වන්න සැබෑ අවශ්‍යතාවක් තියෙනවා.”

ලාංකේය සමාජ – සංස්කෘතික හා සාමාජීය බලපෑම් මේ සියලු කාරණාවන්ට වඩා ප්‍රබල හෝ ප්‍රමුඛ යැයි කිවහොත් ඔබ ඊට එකඟ වන්නේ ද?

“ඒක හරි. අපේ රටේ කාන්තාවන් දේශපාලනයට එන එකට දැවැන්ත බාධාවන් තිබුණා. ගෑනු දන්න දේශපාලනයක් නෑ කීවා. ගෑනු කියන්නෙ බතක් මාළුවක් උයාගෙන ගෙදරට වෙලා ඉන්න ඕන අය කියලා කීවා. ගෑනුන්ගේ මොළේ හැඳි මිටේ, ගෑනුන්ට වැඩිදුර උගන්වන්නෙ මොකටද වගේ කතා තාම ඇහෙනවා. ඒ දේවල් පුංචි කාලෙ ඉඳන් අහලා, හැදිලා වැඩිලා තියෙන සමාජයකින් එල්ලවන බලපෑම සුළුකොට තැකීමට බෑ. ඒකෙම අනිත් පැත්තත් එහෙමයි. අපේ රටේ, සමාජයේ ගැහැනුන්ව රකින්න ඕන කියල එකකුත් තියෙනවා. බැලූබැල්මට ඒක හොඳයි කියලා පෙනුණට එතැනත් ක්‍රියාත්මක වෙන්නේ මේ පසුගාමී අදහසම තමයි. ස්ත්‍රීන් සවිබලගැන්වීම, සුබසාධනය ආදිය වුණත් එන්නේ ඒකයි. සුබසාධනයක් ඕන වෙන්නෙ කඩාවැටුණු පද්ධතියක් ගොඩනඟන්නයි. සවිබලගැන්විය යුත්තේ මුළුගැන්වුණු යටපත්වුණු යමක්. ඒ අරුතෙන් ඇත්තටම අපි විසින්ම ඇය යටපත් කරලා ඉවරයි. යැපුම් මානසිකත්වයක් තියෙන්නෙ. ඒ නිසාම විය යුත්තේ සමාන අයිතිවාසිකම්, සමාන ඉඩප්‍රස්තා ඇති පුරවැසියන් බවට මේ පිරිස පත්කිරීමයි.”

ජාතික ජනබලවේගය මැදිහත්වුණේ ඒකට නේද? එහි සාධනීය ප්‍රතිඵල දැකිය නොහැකි ද?

“ඇත්ත. අපි මැතිවරණ සමයේ මේ ආකල්පය වෙනස් කරන්න ලොකු වැඩකොටසක් කළා. විශේෂයෙන්ම ‘ගැහැනු අපි එක මිටට’ කියලා කාන්තාවන් දැනුම්වත් කරමින්, ගෙයින් ගෙට, ගමින් ගමට ගිහින් විශාල පිරිසක් එකතු කරගත්තා. කාන්තා සමිති හදලා ඒ අයට නායකත්වය දුන්නා. කතිරය ගැසීම පමණක් කාන්තා දේශපාලනය කියලා වටහා ගත්තු පිරිසක් අපි සැබෑ දේශපාලනය වෙනුවෙන් සංවිධානය කළා. ඒකම සෑහෙන ජයග්‍රහණයක්. කාන්තාවන් කියන්නේ මේ රටේ දේශපාලන ප්‍රවාහය වෙනස් කළ හැකි ගාමක බලවේගයක් බවට පත් කළේ අපි. දැන් මෙතැනින් වඩා දුරකට ඒ අය රැගෙන යා යුතුයි.”

ඉතිහාසයේ වැඩිම පිරිසක් විදිහට වත්මන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සලකුණු වෙලා තියෙනවා. ඒත් කැබිනට් එකේ අපට එහෙම තත්ත්වයක් දකින්න බෑ. ඒ ඇයි?

“අපේ පාර්ලිමේන්තුවේ කාන්තාවන් 22ක් ඉන්නවා. එයින් 20ක් අපේ ජාතික ජනබලවේගය නියෝජනය කරන අයයි. ඉතිරි දෙදෙනා දේශපාලන පවුල්වලින්, යම්කිසි ශක්තිමත් දේශපාලන පසුබිමකින් ආව අය. එහෙත් අපේ විසිදෙනා කෙරෙහි අවධානය යොමු කළොත්, ඒ අය විවිධ අධ්‍යාපන මට්ටම්වලින්, විවිධ ජනවාර්ගික පදනම්වලින්, විවිධ සමාජ පසුබිම්වලින්, විවිධ තරාතිරම්වලින් ආව සාමාන්‍ය අය බව පැහැදිලියි. අපි දේශපාලනය බිම් මට්ටමින්ම පටන් ගත්තු අයයි. දිස්ත්‍රික් ජනපදනමක් සහිතව තරග කරලා පාර්ලිමේන්තුවට තේරුණු අයයි. මේ වෙනසම මදි ද? හැබැයි කැබිනට් මණ්ඩලය වගේ තැනක කටයුතු කිරීමේදී මේ දේශපාලන අත්දැකීම්වලට අමතරව පරිපාලනය, යම් යම් වෘත්තීයමය අත්දැකීම් ටිකකුත් වැදගත්. ඒ නිසාම පළමු අවස්ථාවේදී මමයි, අගමැතිනි හරිනි සහෝදරියයි පමණක් කැබිනට් මණ්ඩලයට ඇතුළත් වුණේ ඉතාම පුංචි කැබිනට්ටුවකින් ලොකු වැඩකොටසක් කිරීමේ අපේ පොදු අරමුණත් එක්කමයි. ඒ නිසා ඉදිරියේදී අත්දැකීම් ලබාගන්නා අපේ අනෙක් සහෝදරියන්ට කැබිනට් එකේ දොර ඇරෙයි කියන විශ්වාසය මට තියෙනවා.”

හිටපු ජනාධිපති වික්‍රමසිංහ, අගමැතිවරයාව සිටි කාලයේ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩි කිරීමට ගෙනා කෝටා ක්‍රමය, වියදම් අධික වැඩක් කියලා එතුමාම පසුකලෙක කියා සිටියා. වත්මන් ආණ්ඩුව යටතේ මෙම කෝටා ක්‍රමය නවතිනව ද?

“සාමාන්‍යයෙන් රටක කෝටා ක්‍රමයකින් කාන්තාවන් නියෝජනය වීම නිවරැදිම ක්‍රමය නොවෙන්න පුළුවන්. ගැහැනු – පිරිමි භේදයකින් තොරව වඩාත් සක්‍රිය දේශපාලනයට එන කාන්තාවන් සිටිය යුතුයි. ජනතා ගැටලුවලදී කාන්තාවන්ගේ මැදිහත්වීම තිබිය යුතුයි. පළාත්පාලන, පළාත් සභා මෙන්ම රාජ්‍ය සේවයේ විධායක මට්ටම්වල, ඒ සෑම තැනකටම කාන්තාවන්ට සුදුසුකම් අනුව නිතරගයෙන් පැමිණෙන්නට හැකි වටපිටාවක් සැකසිය යුතුයි. නමුත් අපේ එවැනි භාවිතාවක් හෝ ප්‍රවණතාවක් නෑ. ඡන්දය දෙද්දී කාන්තාවකට ඡන්දය දීම ගැන කාන්තාවන්ම දෙවරක් හිතනවා. ඉතාම අසීරුවෙන්, දැඩි පරිශ්‍රමයක් දරලා පරිස්සමෙන් පාර්ලිමේන්තුවට 20ක් ගෙනත් තියෙනවා. හැබැයි මම, හරිනි සහෝදරිය ඇතුළු අපේ විසිදෙනා ඉලක්ක කරගනිමින් ඉතාම නින්දිත, ආගමික, වාර්ගික, ලිංගික වශයෙන් මඩ ප්‍රචාර, වෛරීය ප්‍රකාශන, මේවනවිටත් සංවිධානාත්මකව එල්ල වෙනවා. මෙයින් අපේ නායකත්වයේ ඊළඟ පරම්පරාව ගොඩනැඟීමට බාධා පැමිණෙනවා. ඒ අයට දේශපාලනය එපා කරවන එකයි. ඉඩකඩ අහුරන එකයි. ඒ නිසාම තමන්ගේම පවුල තුළින් පවා තමන්ගෙ දියණිය, සහෝදරිය, මව දේශපාලනයට එන එක වළක්වන වටපිටාවක් නිර්මාණය වෙනවා. ඒ නිසා යම් කතිකාවක් හැදිලා, ස්ථිරසාර පදනමක් වැටෙන තෙක් කෝටා ක්‍රමයකින් හෝ කාන්තාවන්ට මහජන නියෝජන ආයතන වෙත පත්වෙන්න ඉඩප්‍රස්තාව ලැබිය යුතුයි. ඒක නිවරැදිම ක්‍රමය නොවුණට ඒ සඳහා මේ මොහොතේ වෙනත් ක්‍රමයක් නෑ. අප්‍රිකානු රටවල පවා කාන්තා නියෝජනය හොඳ මට්ටමක තියෙනවා. තුර්කිය වගේ රටක පවා කාන්තාවන් 66ක් පමණ සිටින බව මම මෑතකදී ලිපියකින් කියෙව්වා. ආසියානු රටවල ගත්තත්, අපට වඩා බංග්ලාදේශය වැනි රටක කාන්තාවන් ඉන්නවා. ඒ නිසා කාන්තා නියෝජනය ඉදිරි පළාත් පාලන මැතිවරණය තුළත් කෝටා ක්‍රමය තුළින් ඉදිරියට ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් වියදම් කරන මුදල නාස්තියක් නෙවෙයි. පහළට ගිලිලා පතුලේ හිටපු සමාජයක් ඉහළට ඔසවා සවිබලගැන්වීම අනාගත ආයෝජනයක්.”

අවසාන වශයෙන් කිවයුතු අන් යමක් තියෙනව ද?

“ලංකාවේ සියලුම ප්‍රදේශවල, සියලුම ක්ෂේත්‍රවල මෙන්ම දරුවන් සමඟ දුක් විඳින වැන්දඹු කාන්තාවන්ට පවා කියන්නට ඇත්තේ ‘ඔබ ශක්තිමත් විය යුතුයි’ කියන කාරණයයි. ඔබ මිනිස් ප්‍රාණියෙක් මිස දෙවෙනි පෙළ පුරවැසියෙක් නොවන බවයි. මේ රටේ කාන්තාවට සුවපත් යහපත් ජීවිතයක් ලබාදිය හැකි ආණ්ඩුවක් දැන් තියෙන්නෙ. මේ සමාජ පරිවර්තනයට ඔබත්, ඔබේ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙනුත් එකට එකතුවෙලා අපත් සමඟ අත්වැල් බැඳගන්න කියලා ඉල්ලීමක් කරනවා.”

 

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT