ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ ප්‍රවීණ ප්‍රතිභාපූර්ණ රංගනවේදිනී නීටා ප්‍රනාන්දුගේ සිනමා රංගන දිවියට දශක හයක් පිරීම නිමිත්තෙන් ඇයට උපහාර පිණිස ජාතික රූපවාහිනී නාළිකාව මඟින් ‘නීටා ප්‍රනාන්දු රංගාවතරණය’ නමින්, ඇය රංගනයෙන් දායක වූ ජනප්‍රිය චිත්‍රපට පෙළක් ඇතුළත් චිත්‍රපට සතියක් ප්‍රකාශයට පත්කර ඇත. එසේම රංගනවේදිනී නීටා ප්‍රනාන්දු ඇගයීම වස් ඇයගේ රංගනයෙන් ඔපවත්වූ ‘තේජා’ චිත්‍රපටයේ මංගල දර්ශනයට සමගාමීව ඇගයීමේ උලෙළක් ද සංවිධානය කර ඇත. චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ඇතුළු වෙනත් පාර්ශ්වයන් කිහිපයකින්ම ඇය ඇගැයීමට නියමිතය.
1947 වර්ෂයේදී කටුනේරියේ කතෝලික පවුලක උපන් මැය මූලික අධ්‍යාපනය ලැබුවේ වෙන්නප්පුව ශුද්ධ වූ පවුල් කන්‍යාරාමයේය. ඇය පාසල් වේදිකාවේ ‘නරබිල්ල’ නමැති වේදිකා නාට්‍යය වෙනුවෙන් රංගනයෙන් දායක වූවාය. පසුව සිනමා රංගනයට අවතීර්ණ වූයේ සිනමා ශිල්පි ජෙරාඩ් ප්‍රනන්දු මහතාගේ මාර්ගයෙනි. ‘සතුටයි කඳුළයි’ චිත්‍රපටයේ සුළු රංගනයකට ඇස දායක වූවාය.
1965 වසරේදී ‘ළඳක මහිම’ චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි ඇය, දශක හයක් පුරාවටම සක්‍රිය ලෙසින් සිනමාවේ නියැළී සිටීන්නීය. අවස්ථා කිහිපයකදීම විවිධ සම්මානයන්ගෙන් පිදුම් ලද ඈ රංගනයෙන් දායක වූ චිත්‍රපට අතර ආදායම් වාර්තා තැබූ වාණිජ සහ කලාත්මක චිත්‍රපට රැසකි. පික් පොකට්, ගීතා, සුජීවා, සුනේත්‍රා, රජගෙදර පරවියෝ, වාසනා , ළසඳා, දුප්පතාගේ හිතවතා, හිත හොඳ මිනිහෙක්, ඔන්න මාමේ කෙල්ල පැනපි, ශාන්ති, වස්තුව, සරෝජා, පාංශු, කේසර සිංහයෝ, ලස්සන කෙල්ල, ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට හැටකට ආසන්න ප්‍රමාණයෙන් කිහිපයකි. ඈ චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙසින් ද සිංහල සිනමා ක්ෂේත්‍රයට විශාල සේවාවක් ඉටු කළාය. ඈ නිෂ්පාදනය කළ චිත්‍රපට අතර, “සූරියකාන්ත, පවුරු වළලු, නිසල ගිර, බඹර වළල්ල, ස්වර, තේජා” ඇතුළු චිත්‍රපට කිහිපයක්ම විය. “දුහුළු මලක්” චිත්‍රපටයේ නිලූපාගේ චරිත නිරූපණය ප්‍රේක්ෂක, විචාරක ඇගයීමට මෙන්ම, ඕ.සී.අයි.සී. සම්මානයට ද පාත්‍ර වූ අතර, “පවුරු වළලු” චිත්‍රපටයේ වයලට්ගේ රංගනය වෙනුවෙන් සිංගප්පූරු අන්තර්ජාතික සම්මාන උලෙළේ හොඳම නිළිය ද වූවාය. ජනාධිපති සම්මානලාභිනියක ද වන ඇය පාංශු චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ද සම්මානිත වූ අතර, මේ ප්‍රතිභාපූර්ණ රංගනවේදිනී නීටා ප්‍රනාන්දු රංගනයෙන් දායකවූ චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත. එසේ හෙයින් ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවට සුවිසල් රංගන ප්‍රතිභාවක් මුදා හළ ප්‍රවීණ රංගන ශිල්පීනී, නීටා ප්‍රනාන්දු මහත්මිය සමඟ අප කළ සාකච්ජාව මෙසේ දක්වමු.
ඔබගේ සිනමා ආගමනය පිළිබඳ මතකය අවදි කරමු ද ?
“මම මුලින්ම සිනමාවට එන්නේ පාසල් කාලය අවසන් වෙනවාත් සමඟයි. මම සිනමාවට එනකොට චරිතය පිළිබඳ හොඳාකාර අවබෝධයක් හා වැටහීමක් මට තිබුණා. ඒ වගේම අධ්‍යක්ෂකවරයාට ගරු කිරීමේ ලක්ෂණයත් එදා අපි හැමෝටම තිබුණා. ඒ ගුණාංග අපට උරුමයෙන්ම පිහිටලා තිබුණු හින්දාම පහසුවෙන් සිනමා ගමනට අවතීර්ණ වෙන්න පුළුවන් වුණා. ඒ වගේම පළමුවෙන්ම හික්මීමක් තිබිය යුතුයි. ඒ හික්මීම කියන කාරණාවත් මගේ ළඟ උපරිමයට තිබුණා. මගේ සිනමා ජීවිතය ආරම්භ වන්නේ 1965 වසරේදී ‘ළඳක මහිම’ චිත්‍රපටයෙන්.
මම එහිදී රඟපෑවේ ලතා නමැති චරිතයයි. මම කලා ක්‍ෂේත්‍රයට පැමිණෙන්නේ මගේ මාමා කෙනෙක්ගෙ උදව්වෙන්. මේ වෙනකොට මම සිනමා නිර්මාණ විශාල ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. මම පළමුව රංගනයෙන් දායක වුණු “ළඳක මහිම” සිනමාපටයට දායක වනකොට මගේ වයස අවුරුදු 17යි. ළඳක මහිම චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම එක්ක තමයි මම රංගනයෙන් දායක වෙන්නේ.
මට සිනමා ජීවිතය සම්බන්ධයෙන් කිසිදු අත්දැකීමක් තිබුණෙත් නෑ. කලා ක්ෂේත්‍රයේ එදා හිටපු අයගෙන් ලැබුණු සහයෝගය මට විශාල පන්නරයක් වුණා. ඒ වගේම 1965 සිට 1975 දක්වා වූ දශකයක කාලය තුළ චිත්‍රපට 40කට වඩා රඟපෑවා. ඒ අතර ‘දුහුළු මලක්’, ‘ලසඳා’, ‘හදවත් නැත්තෝ’, ‘මංගලා’, ‘වාසනා’, Òශාන්තිÓ ආදී ජනප්‍රිය චිත්‍රපට රැසක් වුණා.
කලාවේදී ඔබට තිබූ අභියෝගය කුමක්ද?
“ඒක මෙහෙමයි. හැමෝමත් එක්ක හොඳින් කටයුතු කළ නිසා ගැටලු, අභියෝග කියන කාරණාව මට තිබුණේ නෑ. නමුත් මම මේ අද ඉන්න තැනට එන්න විශාල කැපකිරීම්, හැලහැප්පීම් රාශියකට මුහුණ දුන්නා. මම මට හමුවුණු හැමෝමත් එක්ක ඉතා සමගියෙන්, කාරුණිකව වැඩ කළ කෙනෙක්. කලා ක්ෂේත්‍රයේදී ප්‍රවීණයන් පිරිසක් සමඟ මම එක්ව රංගනයේ නිරත වෙලා තියෙනවා. ඒ කිසිම තැනකදී මට කිසිදු ප්‍රශ්නයක්, ගැටලුවක් ආවේ නෑ. ඒ ගැන මම කියන්න හරිම සතුටින්.”
ඔබගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කුමක් කියා ප්‍රකාශ කළ හැකිද ?
“මම 1975 දී නීතිඥ එලියන් පෙරේරා සමඟ විවාහ වුණා. ඉන් පස්සෙ සිනමා දිවිය නතර කරමින් කැනඩාවට සංක්‍රමණය වුණා. වසර ගණනාවක් පුරා සිනමාවෙන් ඈත්වී හිටියා. මගේ සිනමා ජීවිතය තුළ ප්‍රධාන සංධිස්ථාන බොහොමයක් තියෙනවා. එකක් තමයි, ඉන් අවුරුදු කිහිපයකට පස්සේ මම ලංකාව අතහැරලා ගියා. අවුරුදු විස්සක් මම සිනමාවේ හිටියේ නැහැ. 1975 වර්ෂයේ සිට 1995 – 1996 වර්ෂ දක්වා මම සිනමාවේ සිටියේ නැහැ. ඒ කාලයේ මම හිටියේ කැනඩාවේ. මම ටිකක් පීක් එකේ ඉන්න කාලෙ තමයි සිනමාව අතෑරලා දාලා කැනඩාවට ගියේ. එතකොට මම සිනමාපට හතළිහක් විතර කරලා තිබුණා. මගේ මහත්තයා හින්දා තමයි, මම කැනඩාවට ගියේ. මගේ මහත්තයා පොරොන්දු වුණා මාව නැවත ගෞරවාන්විතව සිනමාවට රැගෙන එනවා කියලා. පසුව මම 1991 දී නිෂ්පාදිකාවක් විදිහට ‘සූරියකාන්ත’ චිත්‍රපටයෙන් ආවා. ඉන්පසු මම නැවත කැනඩාවට ගියා. පස්සේ මම 1995දී නැවත ආවා. ‘පවුරු වළලු’ චිත්‍රපටය දායක වුණා. මේක තමයි මගේ සිනමාවේ දෙවැනි ගමන වුණේ. මේ දෙවෙනි ගමනෙන් තමයි මට සිනමාව තුළ සම්මාන ලැබුණෙත්. ඒ ‘වයලට්ගේ’ චරිතයෙන්. නමුත් ඊට කලින් මට සම්මාන ලැබිල තිබුණා. ඒ ‘දුහුළු මලක්’ චිත්‍රපටයටයි”.
දැන් අපට ඔබව ‘තේජා’ චිත්‍රපටයෙන් හමුවෙනවා. අපි තේජා ගැන ටිකක් කතා කරමු ?
“තේජා” චිත්‍රපටය නිලන්ත හපන්වීරගේ අධ්‍යක්ෂණයක්. එතුමාගේ පළවෙනි චිත්‍රපට අධ්‍යක්ෂණය තමයි “තේජා” කියන්නේ. නමුත් මොහු සාහිත්‍ය සහ කලා ලෝකයේ බොහෝ අත්දැකීම් ඇති පුද්ගලයෙක්. එයා මට හම්බ වෙන්නේ දැනට අවුරුදු විස්සකට වගේ කලින්. “තේජා” චිත්‍රපටයේ අයිරාංගණී සේරසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අනුරුද්ධිකා පාදුක්කගේ ඇතුළු සම්මානනීය, දක්ෂ නළු නිළි පිරිසක් රඟපානවා. ඒ වගේම “තේජා” චිත්‍රපටය ගෙතෙන්නේ ගැහැනිය වටායි.
“තේජා” කියන චරිතය ගැහැනියක්, මවක් සහ ඇඟලුම් කර්මාන්තයේ වැඩ කරන චරිතයක්. කර්මාන්ත ශාලාවක සේවයේ යෙදී සිටියදී තම සැමියා වන රංජිත් අනතුරකට ලක් වෙනවා. එතැනදී වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන “තේජා”, තම පෞද්ගලික අභිමතාර්ථයන් පසෙක තබා, ජීවන අරගලය ජය ගැනීම සඳහා සේවය කීරීමට ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයට යනවා. එතැනදී සහෝදර කම්කරු කාන්තාවන්ට වන අකටයුතුකම් වෙනුවෙන් “තේජා” දේශපාලනය හා සබැඳි හාම්පුතුන්ගේ ශ්‍රම සූරාකෑමට මෙන්ම මර්දනයට එරෙහිව නැඟී සිටිනවා. ඒ වගේ කාන්තාවන්ට සිදුවන සාධාරණකම් හමුවේයි “තේජා” චරිතය නිරූපණය වන්නේ.
අද ඔබ විශේෂ ඇගයීමකට පාත්‍ර වෙනවා. ඒ ගැන සටහනක් තබමු ?
අද මගේ සිනමා ජීවිතයට දශක හයක් සැපිරීම ඇගයීමට සූදානම්. ඒක මට සප්‍රයිස් එකක්. ඇත්තටම ඒක කොයි විදිහෙන් කෙරෙනව ද කියන්න මම දන්නෙ නෑ. එදාට “තේජා” චිත්‍රපටයේ මංගල දර්ශනය එළිදැක්වෙනවා. ඒක එළිදැක්වෙන්නේ ප්‍රධානම කාන්තා දිනයට සමගාමීව තමයි. ඒක කාන්තාවන් වෙනුවෙන් හදපු චිත්‍රපටයක්. මම ආ ගමනේ, මෙතෙක් මාව රඳවා තබා ගත් ප්‍රේක්ෂකයන්ට බොහෝම ස්තූතියි. මේ සිනමාව ගෙනයන්න නම්, අපිට ප්‍රේක්ෂකයන් නැතුව බෑ. ඉතින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ගොඩක්ම ස්තූතියි. ඒ වගේම අපව ඔසවා තබන මාධ්‍ය හිතවතුන්ටත් බොහොම ස්තුතියි.