නව වසරේ සංචාරක ඉලක්කය සපුරා ගැනීම සඳහා වන යහපත් ආරම්භයක් සලකුණු කරමින් ඉකුත් ජනවාරියේදී සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 400ක ආදායමක් උපයා ඇති බවට අප පුවත්පත වාර්තා කළේ ය. එය 2024 වසරේ ජනවාරියට සාපේක්ෂව ආදායම් පාර්ශ්වයෙන් 17.2%ක වර්ධනයක් බවත්, සංචාරකයන්ගේ පැමිණීමේ පාර්ශ්වයෙන් 21.4%ක වර්ධනයක් බවත් එම පුවතින් හෙළිදරව් කර තිබිණි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන පරිදි 2025 වසරේදී සංචාරකයන් ලක්ෂ 30ක් ගෙන්වා ගැනීම සඳහා වන සැලසුම් සකස් කොට තිබේ. මේ අතර, ශ්‍රී ලංකාවට සැපයූ විස්තීර්ණ මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් මූලික සහතික සමාලෝචනය කරමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා විධායක අධ්‍යක්ෂ ආචාර්ය පීටර් බෲවර් මහතා සඳහන් කොට තිබුණේ මෙරට ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් යහපත් වෙමින් පවතිනු ඇති බවයි.
ශ්‍රී ලංකාව 2018 සිට 2023 දක්වා වසර 6කදී රටට අහිමි වූ ආදායමෙන් 40%ක් නැවත උපයා ගෙන ඇති බවත්, මෑතකාලීන දේශීය දළ නිෂ්පාදිතයේ 5.5%ක වර්ධනයක් අත්පත් කර ගෙන ඇති බවත් ඒ මහතා පෙන්වා දී තිබිණි. එහිදී ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රය අත්පත් කරගෙන ඇති වර්ධනීය ප්‍රගතිය පිළිබඳව ද අවධානය යොමු කර තිබීම විශේෂත්වයකි.
අතීතයේ සිට ම ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණය ලත් කේන්ද්‍රස්ථානයකි. ඉතා සරලව කිවහොත්: සංචාරක කර්මාන්තය යනු විනෝදාස්වාදය හෝ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා සංචාරය කිරීම සහ ඒ හා ආශ්‍රිත වාණිජ කටයුතු හැඳින්වීමට භාවිත වන පදයකි.
සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට මෙන්ම සමාජයීය හා සංස්කෘතික වශයෙන් ද පාරිසරික වශයෙන්ද වැඩි බලපෑම් එල්ල කරන අංශයක් බවට පත්ව තිබේ. එමඟින් රටකට හිමි වන විදේශ විනිමය ප්‍රමාණය ඉතා සැලකිය යුතු මට්ටමේ ඉහළ අගයක පවතී. දුරාතීතයේ පටන් මෙරට භෞතික, සංස්කෘතික පිහිටීම හා වැදගත්කම ද අප රටට පමණක් ආවේණික වූ තවත් බොහෝ මානවීය සාධක ද හේතුවෙන් ශ්‍රී ලංකාව ලොව බොහෝ රටවල සංචාරකයන්ගේ අවධානයට ලක් වන රටක් බවට පත් වී ඇත.
පසුගිය කාලය මුළුල්ලේ ඇති වූ විවිධ අයහපත් සිදුවීම්, අභ්‍යන්තර අර්බුද, කෝලාහල, කොරෝනා වසංගතය, අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟකම සහ ඒවායේ මිල ඉහළ යෑම යනාදි සාධක ගණනාවක් මත සංචාරක කර්මාන්තය බිඳ වැටීමට මඟ හෙළි වී තිබිණි. ඊට අමතරව, සංචාරකයන්ට සිදු වන විවිධ අඩන්තේට්ටම්, භාණ්ඩ පැහැර ගැනීම් සහ සොරමැරකම් යනාදි හේතුද මෙහි අව වර්ධනීය සාධක ලෙස හඳුනා ගනු ලැබ තිබිණි.
කෙසේ නමුත් වර්තමානයේ යළිත් අන්තර්ජාතික ප්‍රජාවගේ සංචාරක අවධානය ශ්‍රී ලංකාව කෙරේ යොමු වී ඇත. පසුගියදා නිකුත් කෙරුණු අන්තර්ජාතික වාර්තාවකින් කියවුණේ ද ලොව හොඳම සංචාරක ගමනාන්ත දහයෙන් එකක් බවට අප රට පත් වී ඇති බවයි.
එසේ නම් අප විසින් යෝජනා කරනු ලබන්නේ මෙකී සාධනීය තත්ත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන, සංචාරක කර්මාන්තය හා බැඳුණු රැකියා හා කර්මාන්ත දියුණු කිරීමට රාජ්‍ය අනුග්‍රහය සලසා, එය විදේශ විනිමය වැඩි වශයෙන් උපයන ආදායම් මාර්ගයක් බවට පත් කොට ගත යුතු බවයි.
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ ආගන්තුක සත්කාර සම්බන්ධයෙන් සංචාරකයෝ ඉහළින් කතා කරති. එහෙත් ඒ අතර ම, ප්‍රමාණවත් තරම් අන්තර්ජාල පහසුකම් නොවීම, බොහෝ සේවාවන්ට වංචනික ලෙස මුදල් අය කිරීම, සංචාරකයන් සඳහා විධිමත් ප්‍රවාහන සේවාවක් නොවීම, සංචාරකයන්ට ප්‍රමුඛතා ක්‍රමවේදයක් නොවීම, සෞඛ්‍ය ආරක්ෂිත වැසිකිළි කැසිකිළි පහසුකම් නොවීම, රිය පැදවීම සහ ආරක්‍ෂාව පිළිබඳ නිශ්චිත ක්‍රමවේදයක් නොවීම, සංචාරක මඟපෙන්වන්නන් විධිමත් පුහුණු ක්‍රමවේදයකට යටත් නොකිරීම, ඒ හා බැඳුණු රැකියාවල නිරතවන්නන් නිශ්චිත නියාමනයකට ලක් නොකිරීම ඇතුළු ගැටලු රැසක් පවතී.
මේ නිසා තිරසර ගමනාන්ත සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට තිරසර සංවර්ධන සංචාරක ව්‍යාපාරයක් හඳුන්වා දිය යුතු බවට යෝජනාවක් නව රජය පාර්ශ්වයෙන් ද ඉදිරිපත් වී ඇත. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ලේඛනයේ ද මේ පිළිබඳ සඳහන් වෙයි.
දේශීය උරුමය සහ පාරිසරික සම්පත් සුරැකෙන ආකාරයට, ශ්‍රී ලාංකික සංස්කෘතික උරුමය විනාශ නොවන ආකාරයට සකස් කර ගන්නා ලද සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක කාලීන අවශ්‍යතාව අන් කවරදාටත් වඩා අද තදින් දැනෙමින් තිබේ. සංචාරක කර්මාන්තයේ දියුණුව නිසා විශාල විදේශ විනිමය සංචිතයක් ලංකාවට ලැබෙන අතර තවත් ඍජු හා වක්‍ර රැකියා රැසක් ද නිර්මාණය වේ.
එබැවින්, ඉදිරි කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව හොඳම සංචාරක ගමනාන්තවලින් එකක් බවට පත් වී, තිරසර සංචාරක සංවර්ධන ප්‍රවේශයකට යොමු වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එය සංචාරකයන්ගේ සහ පරිසරයේ මෙන් ම ජනතාවගේ ද අවශ්‍යතා සමතුලිත කර ගනිමින් ආර්ථික ප්‍රතිලාභ උපයා ගැනීමේ ක්‍රියාවලියකි. සංචාරක කර්මාන්තය අහිතකර බලපෑම අවම කරමින් අදාළ ජනතාවට සාධාරණ ආර්ථික දායකත්වයක් දෙමින් සිදු කරන සංචාරක ක්‍රියාකාරකම් එහි අන්තර්ගත වේ.
එමඟින් ලෝකය තුළ හුදෙකලා නොවුණු ශ්‍රී ලාංකේය රාජ්‍යයක් නිර්මාණය කරගැනීමට හැකියාව ලැබෙන අතර, දියුණු ලෝකය හා බද්ධ වුණු ආර්ථික ක්‍රියාවලියකට උර දීමට අවශ්‍ය සමාජ, සංස්කෘතික, ආර්ථික, පරිසරය නිර්මාණය කර ගැනීමක් ද එමඟින් සිදු වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.