Monday, April 21, 2025
Home » නිවෙසක් ආරක්ෂා කරදෙන මුවාවෙන් රු. කෝටියක දේපොළ වංචා කළැයි දේවගැතියයි-මාමයි අත්අඩංගුවට

නිවෙසක් ආරක්ෂා කරදෙන මුවාවෙන් රු. කෝටියක දේපොළ වංචා කළැයි දේවගැතියයි-මාමයි අත්අඩංගුවට

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

සිරිපුර - මදුෂානි අබේසිංහ

නිවෙසට ආරක්ෂාවක් කරදෙන බවට සහ පවුලේ සමගිය, දියුණුව ඇතිකර දෙන බවට පවසා, දිඹුලාගල, බෝගස්වැව ප්‍රදේශයේ  එක්දරු මවකගෙන් වරින්වර රුපියල් 7250,000ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මුදල් වංචාවෙන් ලබාගත් වෙහෙරගල ප්‍රදේශයේ දේවගැතියකු සහ ඔහුගේ මාමා ඊයේ (05) අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වෙහෙරගල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි දේවගැතියකු සහ පාලුගම, වලපනේ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ මාමණ්ඩිය වන 56 හැවිරිදි අයෙකු බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන මනම්පිටිය පොලීසිය පවසයි.

දිඹුලාගල, බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක වන 28 හැවිරිදි මවක මනම්පිටිය පොලීසියට පෙරේදා (05) කරන ලද පැමිණිල්ලක් අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පවසයි.

මෙම ඇදුරා නි‍ෙවසේ ආරක්ෂාව කරදෙන බවට පළමුවෙන්ම එම මවගෙන් රුපියල් 70,000ක මුදලක් ලබාගෙන ඇති අතර ඉන් අනතුරුව නි‍ෙවසේ සංවර්ධන කටයුතු මෙන්ම ඇතිවී තිබෙන ආරවුල් සම්පූර්ණයෙන් විසඳා දෙන බවට පවසමින් ඇයගේත්, මවගේ,   ස්වාමියාගේත්, දරුවාගේත් අතැති සියලු රන් ආභරණ දේව යහනක තබා පූජා කිරීමට කැමැත්ත පළ කරගෙන තිබේ.

ඒ අනුව මහත් පීඩනයට පත්ව සිටි එම මව තිස්හත් ලක්ෂ පනස්දාහක් වටිනා රන්ආභරණ දේවගැතියාට ලබාදී ඇති අතර දේවගැතියා මුදල් ද ඉල්ලීමෙන් අනතුරුව මව රුපියල් ලක්ෂ දාසයක පමණ මුදලක් ණය වී අවස්ථා කිහිපයකදී ඔහුගේ ගිණුම්වලට බැර කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙම දේවගැතියා සහ තවත් කිහිපදෙනෙකු වෙහෙරගල ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට මෙම දේවාලය පවත්වාගෙන යමින් විශාල පිරිසක් රවටා මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බවත්, රුපියල් ලක්ෂ දෙසීයක් වටිනා වාහනයක් පරිහරණය කරන එම දේවගැතියා, තමන් ලබාදුන් මුදල් ඉල්ලූ විට වරින් වර තර්ජනය කර ත්‍රිශුලයෙන් ඇනීමට උත්සාහ දරා ඇති බව ද මව සිදුකර ඇති පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය පවසයි.

පැමිණිලිකාරියගේ, මවගේ ස්ථිර තැන්පතු ගිණුමක තිබූ රුපියල් ලක්ෂ දොළහක් වටිනා මුදලක් ද දේවගැතියා විසින් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් දේවගැතියා සහ ඔහුගේ මාමා‍ පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතව ඇති බව මනම්පිටිය පොලීසිය සඳහන් කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT