Saturday, April 19, 2025
Home » බඳින කඳක් පත්තු වී තුවාල වූ අයකු පිහිටක් ඉල්ලයි

බඳින කඳක් පත්තු වී තුවාල වූ අයකු පිහිටක් ඉල්ලයි

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

පොල්පිතිගම සමූහ - නන්දන කැලේගම

වෙනත් පුද්ගලයකු විසින් වන සතුන් අල්ලා ගැනීමට අටවන ලද බඳින කඳක් පත්තුවීමෙන් එදිනෙදා කුලී වැඩ කරමින් දිවි ගෙවූ අයකුගේ අතකට තුවාල සිදුවී ඔහු අසරණ වී සිටියි. බෝගමුව පොලිස් වසමේ වේදිනිගම, හුනුපොළ පදිංචි 48 හැවිරිදි විවාහකයකු වූ පී.වී. සුරංග විතාරණ නමැති ඔහු, තවමත් තුවාලවලට ප්‍රතිකාර ලබමින් සිටින බවත්, තමන් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා සිටින බවත් මෙසේ පැවසීය.

“අපේ ගමේ හෙක්ටර්වත්ත කියලා පොල් වත්තක් තියෙනවා. එහි අරක්ෂාවට මුරකරුවෙකුත් ඉන්නවා. මම ඔහුගේ අවසරය මත ඉකුත් පෙබරවාරි 7 වැනිදා සවස රාත්‍රී කෑමට පොල් ගෙඩියක් අහුලාගන්න ගියා. එතකොට වත්තේ නූලක් ඇදලා තියෙනවා දැක්කා. මං ඒක මොකක්ද කියලා බලන්න ඇල්ලුවා. ඒ එක්කම දකුණු අතට වෙඩි වැදුණා. එතකොට තමයි ඒ පත්තු වුණේ බඳින තුවක්කුවක් කියලා තේරුණේ. අවසානයේ කුරුණෑගල රෝහලේ නැවතිලා ප්‍රතිකාරගෙන ගෙදර ආවත් තවමත් තුවාල හොඳ නෑ. තවමත් බෙහෙත් දාන්න යනවා.

මං දිනපතා කොහු මෝලක වැඩට ගිහින් ඉන් ලැබෙන දෛනික පඩියෙන් තමයි අපේ පවුල ජීවත් වුණේ. අද කිසි වැඩක් කර ගන්න මට හව්හරණක් නෑ. මෙච්චර විපත්තියක් වෙලා තිබියදීත් මට කාගෙන්වත් සාධාරණයක් නෑ. පොලීසිය කියනවා බැඳපු කෙනා දන්නවා නම් කියන්නලු. වත්තේ මුරකරුවකු ඉන්නවා නම් මේක අටවපු කෙනා කවුද කියලා දැනගන්න පුළුවන්නෙ.”

මේ පිළිබඳව බෝගමුව පොලීසියෙන් කළ විමසීමේදී එහි නිලධාරියකු මෙසේ කීවේය.

“සිද්ධිය අපි දන්නවා. එදා ඉඳන්ම සැකකරුවා සොයා පරීක්ෂණ දියත් වෙනවා. වෙඩි වැදුණු කෙනාත්, ගමේ අයත් සැකකරුවෙක් ගැන දන්නේ නෑ කියනවා.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT