Home » තහනම් දැලින් කල්පිටියේ ධීවර කර්මාන්තය වළපල්ලට

තහනම් දැලින් කල්පිටියේ ධීවර කර්මාන්තය වළපල්ලට

ධීවරයෝ චෝදනා කරති

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

කල්පිටිය සමූහ - කුමාරී පද්මලතා

කල්පිටිය මුහුදේ කොන්දේසි හා නීති උල්ලංඝනය කරමින් සිදුකරන තහනම් දැල්පන්න භාවිතය යළි හිස ඔසවා ඇතැයි ධීවරයෝ චෝදනා කර සිටිති. මුහුදු පතුලට හා සාගර පරිසරයට හානි ගෙනදෙන, මත්ස්‍ය සම්පත සමූල ඝාතනය කරන මෙම තහනම් දැල් පන්න භාවිතය ඉහළ යාම මුහුදේ මෙන්ම ධීවර ප්‍රජාවගේ ද මළ බෙර හඬ බවට පත්ව ඇතැයි මෙම ධීවරයෝ වැඩිදුරටත් චෝදනා කර සිටිති. මේ පිළිබඳව අදහස් දැක්වූ කල්පිටියේ ධීවරයකු වූ වරණකුලසූරිය නිලන්ත ප්‍රනාන්දු මහතා මෙසේ කීවේය.

“කාලෙන් කාලෙට අපි මේ ලයිලා සුරුක්කු දැලින් පීඩාවට පත්වෙනවා. සාමාන්‍ය දැල් පන්න භාවිත කරලා ධීවර රැකියාවේ නිරත ධීවරයෝ දාහකට පනහක් පමණයි තහනම් ධීවරයෝ ඉන්නේ. මේ අයගේ බෝට්ටු හය හතක කණ්ඩායම් වශයෙන් තමයි මුහුදට යන්නේ. ඒ අය මුහුදේ විශාල බිමක් බෝට්ටු කණ්ඩායමින් වට කරනවා. සමහරවිට කිමිදිලාත් බලනවා. ඒ බිම පුරා ඔවුන්ගේ දැල එළනවා. එම ප්‍රදේශයේ ඉන්න සියලු මාළු මේ දැලට කොටුකර ගන්නවා. මේ දැලට ලක්ෂ ගණනින් මාළු අහුවෙනවා. ඒ අතරේ මාළු පැටවු ගැබ්බර මාළු පවා ඉන්නවා. මැරුණු මාළු පැටවු ගොඩබිමට හෝ යළි මුහුදට හලනවා. අනාගතයේ මාළු පවා අද අදම අල්ලාගෙන විනාශ කරනවා. ඒ නිසා මේක මත්ස්‍ය සංහාරයක් කීවොත් නිවැරදියි.”

කන්දකුලියේ ධීවරයෝ පැවසුවේ මෙම දැලක් එළු බිමක මසුන් වඳවී යන බවත්, යළි මසුන් ඇතිවීමට සෑහෙන කලක් ගතවන බවත්, සාම්ප්‍රදායික ධීවරයින්ට දැල් එළා ගැනීමට සිය රැකියාවේ නිරත වීමට මෙම තහනම් දැල් භාවිත කරන්නන් නිසා විශාල අවහිරයක් මතුව ඇති බවත් ය. මේ පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පුත්තලම කාර්යාලයේ සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මෙසේ කීවේය.

“ලයිලා සහ සුරුක්කු කියලා කියන්නේ පොදුවේ හැඹිලි දැලටයි. එවකට සිටි ධීවර ඇමැතිවරයකුගේ ඉල්ලීමකට අනුව දැනට බලපත්‍ර 90ක් නිකුත් කර තිබෙනවා. හැබැයි 2025 වසර සඳහා නම් එකම බලපත්‍රයක්වත් නිකුත් කරලා නැහැ. ප්‍රබල ධීවර විරෝධතාවක් ඇත්නම් යළි බලපත්‍ර නිකුත් කිරීම ගැන අපිට සලකා බැලිය හැකියි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT