Monday, April 21, 2025
Home » සියඹලාගස්තැන්න දුම්රිය හරස් මාර්ගය මරුකපොල්ලක් වෙලා

සියඹලාගස්තැන්න දුම්රිය හරස් මාර්ගය මරුකපොල්ලක් වෙලා

ගේට්ටුකරුවෙක් ඕනෑ - ප්‍රදේශවාසීහු ඉල්ලති

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

කටුගස්තොට සමූහ - එස්.ජී. විජේරත්න

කටුගස්තොට, සියඹලාගස්තැන්න දුම්රිය හරස් පාරේ පිහිටි ගේට්ටුවේ සේවය සඳහා ගේට්ටුකරුවකු නොමැති වීම හේතුවෙන් අද එම ස්ථානය මරුකපොල්ලක් බවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මෙම දුම්රිය හරස් පාරේ මුලින්ම ගේට්ටුකරුවන් තිදෙනකු සේවය කර ඇති අතර මීට වසර දෙකහමාරකට පමණ පෙර දෙදෙනකු සේවයෙන් ඉවත්ව ගොස් තිබේ. ඉන්පසු ඉතිරි වූ එකම ගේට්ටුකරුවා වන මංජුල ප්‍රසන්න මහතා පසුගිය දෙසැම්බර් 29 වැනිදා අනතුරකට ලක්වීම හේතුවෙන් මෙතෙක් සේවයට වාර්තා කර නොමැති අතර ඔහු අනතුරට ලක්වූ දා පටන් අද දක්වාම දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව අනාරක්ෂිතව පවතින බව එම ජනතාව පෙන්වා දෙති. මෙම අනාරක්ෂිත දුම්රිය ගේට්ටුව පිහිටි මහනුවර – මාතලේ දුම්රිය මාර්ගයේ දිනකට දුම්රිය ගමන් වාර 12ක් පමණ ධාවනය වන බවත්, සියඹලාගස්තැන්න මාවිල්මඩ මාර්ගයේ වාහන දහසක් පමණ ධාවනය වන බවත්, එම වාහන අතුරින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන පමණක් 100ක් පමණ ධාවනය වන බවත් ප්‍රදේශවාසීහු පවසා සිටිති. අද වන විට මෙම අනාරක්ෂිත දුම්රිය හරස් පාර අසල ගේට්ටුවේ, ගේට්ටුකරුවන් නොමැති බව සඳහන් කරමින් නාම පුවරුවක් පමණක් සවිකර තිබෙන අතර එම ස්ථානයේ සවිකර තිබුණු ගේට්ටුවද ගලවා ඉවත් කර ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක් මෙසේ අදහස් දැක්වූහ.

වීරකෝන් ගාර්ඩ්න්හි පදිංචි ජෙරම් ඩයස් මහතා

“මෙතන හරිම අනාරක්ෂිතයි. පසුගිය 4 වැනිදා පාන්දර කාර් එකක් කෝච්චියේ වැදුණා . ඒකෙ හිටපු කෙනා අනූනවයෙන් බේරුණා. බොහෝ අවස්ථාවලදී කෝච්චිය එන වෙලාවට අපි තමයි පාරට ඇවිත් වාහන නවත්වන්නේ. එහෙම වාහන නැවැත්තුවාම සමහරු අපිට බැණල යනවා. මාර්ගය භාවිත කරන අයට මෙතන තිබෙන බිහිසුණුකම ගැන ඒ තරම් අවබෝධයක් නැහැ. මේ පිළිබඳව වගකිව යුතු අයගේ කඩිනම් අවධානය යොමුකරන මෙන් ඉල්ලා සිටිනවා.”

මෙම ගේට්ටුවේ අවසන් වරට රාජකාරිය කළ එල්.ජී. මංජුල ප්‍රසන්න මහතා

“මම අනතුරට ලක්වූ දා පටන් අදටත් ගේට්ටුවට කවුරුත් දැම්මේ නැහැ. මෙතන හරිම අනාරක්ෂිතයි. දවසකට මාතලේ මහනුවර දුම්රිය ගමන් වාර 12ක් විතර යනවා. ඊට අමතරව භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියන් එහෙමත් යනවා.”

මේ සම්බන්ධව කටුගස්තොට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එයට පිළියම් යොදන ලෙස අදාළ ආයතනවලට අවස්ථා කිහිපයකදීම දන්වා ඇති බවයි. එමෙන්ම මෙම ගැටලුව පිළිබඳව ප්‍රවාහන අමාත්‍යවරයා හා නියෝජ්‍ය අමාත්‍යවරයා ද දැනුම්වත් කළ බවත්, දැනට මාවිල්මඩ වසම භාර පොලිස් නිලධාරියාට ද විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දුන් බවත් ඒ මහතා කීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT