වැව් ආශ්‍රිත ඉහළ රක්ෂිත ප්‍රදේශවල වනාන්තර ශාක වගා කිරීමෙන් ජනතාවට ආර්ථික වාසියක් නොලැබෙන නිසා එම පද්ධතියට වන වියනක් ගොඩනඟමින් ජනතාවට ආර්ථික ලාභ ලැබෙන ලෙස අඹ, පොල්, කොස් වැනි දීර්ඝ කාලීන බෝග සිටුවීමට වැව් ගම් පුබුදුව ව්‍යාපෘතියෙන් පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙරට චිරාත් කාලයක් තිස්සේ පවතින වැව් අමුණු හා බැඳුණු සංස්කෘතිය සහ ශිෂ්ටත්වයන් ආරක්ෂා කර ගනිමින් ජනතාවටත් පරිසරයටත් සම සමව ප්‍රථිලාභ ලැබෙන වැඩ කටයුත්තක් සිදුවූ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ, දේශගුණික විපර්යාසයන්ට අනුහුරුවීම සඳහා වූ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතියේ (වැව්ගම් පුබුදුව) අධ්‍යක්ෂ ඉංජිනේරු චන්දන එදිරිසූරිය මහතා ප්‍රකාශ කළේය.
වැව් හා බැඳුණු ජන ජීවිතය හේතු කොට ගෙන වැව් පද්ධතියට සිදුවන හානි ලෙස හඳුනාගත් ගැටලු වන
මිනුම් හා සීමා නිර්ණය ක්‍රියාවලියට ඍජුවම බලපාන වැව් පරිසරය එළිපෙහෙළි කිරීම, අනවසර ඉදිකිරීම් හා නොයෙකුත් දේශපාලන හා පරිපාලනමය තීන්දු තීරණ නිසා වැව් ඉහත්තාවේ පැවරුම් හෝ බදු ක්‍රමයට වගා කිරීමට හෝ පදිංචියට ඔප්පු හෝ බලපත්‍ර ලබාදී තිබීම, ප්‍රවේශ මාර්ග අවහිර කිරීම් හා අනවසර ඉදිකිරීම් සිදු කර තිබීම වැනි ක්‍රියාවන් අවම කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුවිය.
එම රක්ෂිත ප්‍රදේශයේ අනවසර වගාවන් හා ඉදිකිරීම් හෝ ස්වර්ණ භූමි, ජය භූමි ආදී බලපත්‍රයන් මඟින් එම ප්‍රදේශ ආක්‍රමණය කිරීමේ තත්ත්වය නවතාලීමට නම් එම පාර්ශ්වයන් එම ස්ථානයෙන් ඉවත් කළ යුතු වුව ද හරිත දේශගුණ අරමුදලේ හා අප ව්‍යාපෘතියේ කොන්දේසි හා නියාමනයන්වලට අනුව ඔවුන් ඉවත් නොකර ඒ සඳහා ප්‍රායෝගික විසඳුමක් ලෙස ඔවුන් එම ස්ථානයේ රඳවා ඔවුන් ලවාම ඉහළ රක්ෂිත ප්‍රදේශයට අදාළ පරිසර පද්ධතිය ස්ථාපනය කිරීම සිදු කරනු ලැබූ බව ද ඉංජිනේරුවරයා කීය.
මෙහි දී වනාන්තර ශාකවලින් ආර්ථික වශයෙන් ඔවුන්ට ප්‍රතිලාභයක් නොලැබෙන බැවින් ඒ සඳහා උනන්දු නොදක්වන පසුබිමක ව්‍යාපෘතිය මඟින් ඔවුන්ට ආර්ථික ලාභ ලැබෙන ලෙසත් වැව් පරිසර පද්ධතියට වන වියනක් එක් කිරීමටත් යන අවස්ථා දෙකම සපුරාලීම සඳහා අඹ, පොල්, කොස් වැනි දීර්ඝ කාලීන බෝග සිටුවීමට ඔවුන් උනන්දු කරවයි. ඊට අමතරව උචිත ප්‍රයෝගික ක්‍රමවේදයක් ලෙස ගොවියන් යොදා ගනිමින් වැව් පරිසර පද්ධති ආරක්ෂා කරවීම සඳහා පස් වැටි, සමෝච්ච රේඛා, කානු ආදිය යොදා ඉඩමේ පාංශු ඛාදනය අවම කරවීමටත්, කට්ටකාඩුව කලාපය සඳහා ගොවීන් තම වගා භූමිය වෙන්කිරීමට උනන්දුවක් නොදක්වන නිසා එම රක්ෂිත ප්‍රදේශය සීමා ලකුණු කර පුවක් වැටිය ආදී ආර්ථික බෝග වගා කරවීමට ඔවුන් පොළඹවමින් ඔවුන්ට ආර්ථිකමය වාසියක් ලැබෙන ලෙස කටයුතු කිරීමෙන් සෘජු හා වක්‍ර ආකාරයෙන් සියලු දෙනාටම ප්රතිලාභ අත්වන නිසාවෙන් වැව් පරිසර පද්ධතිය සුරක්ෂිත කිරීමට ජනතාව උනන්දු කළ බව ද ඔහු කීය.
කර්කශ වී නිස්සාරව පැවැති වියළි කලාපය වර්ණවත් කරමින් අදටත් බොහෝ පිරිසකට කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනමාර්ගය කරවමින් ග්‍රාමීය ජනතාවගේ ජීවිත අස්වද්දන්නේ වාරි පද්ධතියයි. එය වැව, පරිසරය සංරක්ෂණය කර ගැනීමට තිබෙන්නා වූ ප්‍රබල සාධකයකි. එය මත පදනම් වූ අනෙකුත් පාරිසරික පද්ධතීන් ද එම අයුරින් පවත්වාගෙන යාමෙන් වර්තමානයේ පැන නැඟී තිබෙන්නා වූ පාරිසරික, ආර්ථික ගැටලුවලට මෙන්ම සතුන් සහ මිනිසුන් අතර පවතින ගැටුම් බොහෝමයකට විසඳුම් ලබාදීම ද මෙහි තවත් අරමුණකි.