Home » ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අල්ලස් කොමිසමේ සභාපති හමු වෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අල්ලස් කොමිසමේ සභාපති හමු වෙයි

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

සුභාෂිණී සේනානායක

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata මහතා සිය කණ්ඩායම සමඟ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) සභාපති ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල මහතා පෙරේදා (04) හමුවී තිබේ.

ජපාන රජය සහ ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ප්‍රයත්නයන් අතර පවතින සහයෝගීතාව පිළිබඳවත්, දූෂණයට එරෙහිව ශ්‍රී ලංකාවේ සටනට අඛණ්ඩව සහාය දීම සහ ආර්ථික වර්ධනයට ආයෝජකයන්ගේ කාර්යභාරය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කළේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා මෙලෙස පැවැසීය.

“විශේෂයෙන්ම ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කරගැනීමේදී ශ්‍රී ලංකාවේ පාලනය සහ දූෂණ විරෝධී මුලපිරීම් සඳහා ජපානයේ සහයෝගය නොමඳව ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන දිරිගැන්වීමට විනිවිදභාවයෙන් සහ දූෂණයෙන් තොර පරිසරයක් නිර්මාණය කිරීම වැදගත්. එය රටේ සංවර්ධනයට ද අතිශයින් වැදගත් වෙනවා.”

ආයෝජකයන් මුහුණ දෙන අභියෝග, විශේෂයෙන් ආයෝජන ව්‍යාපෘතිවල දූෂණ හා සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ සභාපතිවරයා පෙන්වා දුන් අතර, ආයෝජන ව්‍යාපෘතිවල දූෂණ සම්බන්ධ ඕනෑම ගැටලුවක් කොමිසම විසින් හොඳින් විමර්ශනය කර ඒවාට විසඳුම් දෙන බවට කොමිසන් සභාවේ සභාපතිවරයා ජපාන තානාපතිවරයාට සහතික විය.

විශේෂයෙන් ආයතනික රාමු ශක්තිමත් කිරීම සහ පාලනයේ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීමේදී දෙරට අතර අනාගත සහයෝගීතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. එහි එක් ප්‍රධාන මාතෘකාවක් වූයේ ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ප්‍රයත්නයන් තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගත් මුලපිරීමක් වන 2025-2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීමයි.

ශ්‍රී ලංකාවේ තිරසර ආර්ථික වර්ධනයක් සඳහා ශක්තිමත් පරිසරයක් පෝෂණය කිරීමට සමීපව එක්ව කටයුතු කිරීමට ද දෙපාර්ශ්වයම මෙහිදී කැමැත්ත පළ කළහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT