Home » ‘විදර්ශන’ සඟරාවට වසර 28ක් පිරීම සමරමින්…

‘විදර්ශන’ සඟරාවට වසර 28ක් පිරීම සමරමින්…

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

මලිඳු තෙන්නකෝන් සහ දුලක්ෂි උඩගෙදර

විදර්ශන සඟරාවට වසර 28ක් සපිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ‘විසම්මුතිය විසංයෝජනය කෙරෙන විදර්ශනාව’ මැයෙන් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පසුගියදා (03) පැවැත්විණි.

1997 මාර්තු මස 03 වැනි දින කොළඹ මහවැලි කේන්ද්‍රයේ පිහිටි ශ්‍රවණාගාරයේදී ආරම්භ කළ විදර්ශන ප්‍රකාශන සමාගම පුරා වසර 28කට අධික කාලයක් ඉතා වටිනා ප්‍රකාශන ගණනාවක් රටට දායාද කළ කීර්තිමත් ආයතනයකි. විදර්ශන ප්‍රකාශන සමාගමට වසර 28ක් සම්පූර්ණ වන දිනම තුෂාරි කොග්ගල පරිවර්තනය කළ ‘අඳුරේදි ගොදුර වෙත’ නම් කෘතිය එළිදැක්වීම ද මෙහිදී සිදු විය.

උත්සයේ මුලසුන හෙබවූ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා එහිදී අදහස් දක්වමින් මෙසේ කීවේය.

“1970න් පසු සඟරා පළ කිරීමේ සංස්කෘතිය මෙරට ඇතිවීමත් සමඟ ‘මාවත’ සඟරාවට මට ආරාධනා කිරීම මගෙ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. විදර්ශන වගේ සඟරාවක් පළ කරන්න මට ලොකු ආසාවක් තිබුණා. නමුත් මානව සම්පතේ අඩුවක් නිසා ඒ අවස්ථාව මඟ හැරුණා. අපි මාවත සඟරාව ආරම්භ කළ මුල් කාලය එතරම් සුන්දර නෑ. එදා පැවැතියේ අද වගේ තාක්ෂණය දියුණු කාලයක් නෙවෙයි. සමහර දවස්වල සඟරාව මුද්‍රණය කර පහුවදා අපි පාර්සල් 300ක් විතර තැපැල් කරනවා. ඒත් කාලයක් යද්දී මේ සඟරාව විවිධ හේතු මත අර්බුදවලට ලක් වෙන්න පටන් ගත්තා. අපි භාවිත කළේ ගොඩක් පරණ සහ අවම මට්ටමේ තාක්ෂණය එයට හේතු වුණා. ඉන්දියාවේ දිල්ලි නුවර 1998දී ආසියාවේ සහ ෆැසිපික් රටවල් මූලික කරගෙන සඟරාවක් ආරම්භ කළා. මේ සඳහා මම ඉන්දියාවට ගිය අවස්ථාවේ මේ සඟරාවේ විශේෂ කිහිපදෙනකු මුණගැසුණා. එහිදී ඒ අයගේ මුද්‍රණ ස්ථාන වගේම ඒවායෙහි නිලධාරීන් ද හමුවෙන්න මට හැකි වුණා. ඒක මට විශේෂ අවස්ථාවක්. එයින් ලැබුණු පන්නරයෙන් අපට විදර්ශන වගේ සඟරාවක් පළ කරන්න හැකි වුණා. මේක තමයි, අපේ ආරම්භය වුණේ. අපි ඉතාම පොඩි මුදලකින් ආරම්භ කළ අපේම ව්‍යාපෘතියක් කියලත් මට මේක හඳුන්වන්න පුළුවන්.”

මේ අවස්ථාවට විදර්ශන කලා සංස්කෘතික සඟරාවේ සංස්කාරකවරුන් වන අජිත් පෙරේරා, ලේඛකයෙක් හා පරිවර්තකයෙක් වන අනිල්ක දර්මාකර, විදර්ශන සඟරාවේ සම කර්තෘත්වය හෙබ වූ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා සහ පුරාවිද්‍යා පිළිබඳ කථිකාචාර්යවරයෙක් වන ආචාර්ය ක්‍රිෂාන්ත ෆෙඩ්රික් මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූපය – දුෂ්මන්ත මායාදුන්න

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT