Home » විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ‘විශේෂ මහජන දිනය’ නමින් වැඩසටහනක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ‘විශේෂ මහජන දිනය’ නමින් වැඩසටහනක්

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

මහින්ද අලුත්ගෙදර

විදේශ රැකියා සම්බන්ධයෙන් ජනතාව මුහුණදෙන ගැටලුවලට කඩිනම් විසඳුම් දීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධාන කළ ‘විශේෂ මහජන දිනය’ වැඩසටහනට අතිවිශාල පිරිසක් සහභාගි වී තිබේ.

මේ වැඩසටහන කාර්යාංශයේදී පෙරේදා (04) පැවැති අතර, ජනතාවගේ ගැටලු විසඳීමට විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ සහ කාර්යාංශයේ විවිධ අංශවල නිලධාරීන් කටයුතු කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර මහතා මෙලෙස පැවැසීය.

“විදේශ රැකියා ක්ෂේත්‍රය යනු බොහෝ වෙලාවට ප්‍රශ්න සහ ගැටලු බහුල ක්ෂේත්‍රයක්. අපටත් ගොඩක් අය ඉල්ලීම් කර තිබුණා, ඒ අයට තිබෙන පැමිණිලි, චෝදනා සහ අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න කියලා. ඒ නිසා අපි තීරණය කළා, ජනතාව ඍජුවම මුණ ගැසී කතා කරන්න. වෙනදා තැන් තැන්වල අපි මහජන දිනය කළත් මේ ආයතනයේදීම මහජන දිනය පැවැත්වීම වැදගත් බව අපි තීරණය කළා.

දැන් අපි කොරියන් E8 වීසා සඳහා කැබිනටි අනුමැතිය අරන් තියෙනවා. මීට පෙර කොරියන් E8 වීසා සම්බන්ධ ගිවිසුමක් අත්සන් කළ කතාවක් ඇති වෙලා තිබුණත් ශ්‍රමිකයන් කොරියාවට යවන්න අතරමැදියන් සම්බන්ධවෙලා හිටියට එය කිසිසේත්ම නීත්‍යනුකූල නෑ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ එම ගිවිසුම පකිස්ථානය අත්සන් කළ ගිවිසුමක්. එය කොපි කර පාකිස්ථාන් නමවත් ඉවත් කරන්නේ නැතුව අත්සන් කළ ගිවිසුම් තමයි මීට කලින් තිබුණේ. එය නීත්‍යනුකූල නෑ. මීට කලින් තිබ්බ ප්‍රශ්නය තමයි, වීසා කාලය ඉතාම කෙටි වගේම රැකියාවට යෑමට තමන් වියදම් කරන ගාස්තුව එරටදී තමන්ට උපයන්න බැරි වීම. අතර මැදියන්ගේ ගාස්තුවත් ඉතා විශාල මුදලක් බව පරීක්ෂණවලදී අනාවරණය වුණා. එනිසා ඉතාමත් සාධාරණ මිලකට, ඉතාමත් කෙටි කාලයකදී E8 පළවෙනි කණ්ඩායම රජයෙන් යවන්න පුළුවන් වෙයි කියා අපි විශ්වාස කරනවා. මේ මහජන දිනය සෑම මසකම පැවැත්වීමට තීරණය කර තිබෙනවා.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT