හෘදයේ ක්‍රියාකාරිත්වය සියයට 10ක් පමණක් වන රෝගියකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලෙසට අධිකරණය නියෝග නිකුත් කර තිබියදීත් ඒ අනුව ක්‍රියා නොකරන්නේ කුමන හේතුවක් මතද යන්න අධිකරණයට පැමිණ කරුණු දක්වන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (05) බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළාය.
පසුගිය මස 27 වැනිදා හෘදයේ ක්‍රියාකාරිත්වය 10%ක් යැයි වෛද්‍ය වාර්තාවල සඳහන් වූ රෝගියකු අධිකරණ භූමියට ගිලන් රථයකින් ගෙන්වා පසුව විවෘත අධිකරණයේ විත්ති කූඩුව තෙක් රෝද පුටුවක ආධාරයකින් තොරව අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරු කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට වහාම ඉදිරිපත් කරන ලෙසට අධිකරණය නියෝග නිකුත් කර තිබුණි.
එම ලබා දී තිබූ අධිකරණ නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවට ඊයේ දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරීන් අධිකරණය හමුවේ පවසා සිටියහ.
අධිකරණය ලබා දී තිබෙන නියෝගයක් දින 6ක් ගතවී තිබියදීත් ක්‍රියාත්මක නොකිරීමට ඇති හේතුව කුමක්ද යන්න මහේස්ත්‍රාත්වරිය එම අවස්ථාවේ විමසා සිටියාය.
පසුව වහාම ඒ සම්බන්ධයෙන් හේතු දක්වන ලෙසට බන්ධනාගර අධිකාරීවරයාට අධිකරණය නියෝග කළ අතර පෙර නියෝගය නැවත ක්‍රියාත්මක කිරීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මෙම සැකකරු සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලෙන් හා බන්ධනාගාර රෝහලෙන් ලබා දී තිබූ වෛද්‍ය වාර්තා පරස්පර බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.