මිද්දෙණියේදී අරුණ ප්‍රියන්ත නොහොත් ‘කජ්ජා’ නමැත්තාව ඔහුගේ දරුවන් දෙදෙනා සමඟ වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබේ. වෙඩි තැබීමට ඔහු පැමිණි යතුරුපැදිය මිද්දෙණියේ ජලය පිරුණු ගල් වළක දමා තිබියදී සොයා ගත් බවත් ඔහු මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පුද්ගලයකු බවත් විමර්ශනයේදී හෙළි වී ඇත. මෙම ඝාතනය ඩුබායිහි රැඳී සිටින ‘බැකෝ සරත්’ නමැති අය විසින් දුන් කොන්ත්‍රාත්තුවකට අනුව සිදු කළ බව ද සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි කර ඇත.
‘බැකෝ සරත්’ නමැති පුද්ගලයා හරක් කටාගේ ප්‍රධාන ගෝලයකු ලෙස පොලීසිය හඳුනාගෙන තිබේ. හරක් කටාගේ මත්කුඩු තොගයක් බැකෝ සරත් විසින් ඇඹිලිපිටිය නගරයේ පොලීසිය ආසන්නයේ නිවෙසක සඟවා තිබී ඇති බවත් එම තොගය පොලීසියට ලද ඔත්තුවකට අනුව 2022 වසරේ ජූලි මාසයේදී සොයාගෙන ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. පොලීසියේ නිල තොරතුරුවලට අනුව හෙරොයින් කිලෝ 38යි ග්‍රෑම් 360ක් එහිදී සොයාගෙන තිබිණි.
සොයාගත් හෙරොයින් අතරින් කිලෝ ගණනක් අස්ථානගත වීමක් සම්බන්ධයෙන් ද එකල පොලීසිය තුළ දැඩි කථාබහක් ද පැවතිණි.
මෙම හෙරොයින් තොගය සොයාගෙන තිබුණේ කජ්ජාගේ තොරතුරකට අනුව බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. එය මත්කුඩු ජාවාරම්කරුවන්ට අනාවරණය වීම හේතුවෙන් කජ්ජාගේ ජීවිතයට දැඩි තර්ජනයක් ද එල්ල වී තිබී ඇත. බැකෝ සරත් නමැත්තා විසින් කජ්ජාට වෙඩි තබා ඇති බවත් ඊට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට කජ්ජා සූදානම් වූ අවස්ථාවේදී බැකෝ සරත් රටින් පලා ගිය බවත් පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
බැකෝ සරත්ගෙන් එල්ලවූ ජීවිත තර්ජන හේතුවෙන් කජ්ජා සිය ආරක්ෂාව ගැන දැඩිව අවධානයකින් සිට ඇතත් බැකෝ සරත් විසින් ඇටවූ උගුලකට හසුවී ඔහු ඝාතනය වී ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
මෙම ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මේ වන විට පුද්ගලයන් 08 දෙනකු අත්අඩංගුවට ගෙන සිටින බව මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා පැවසීය. ඒ අයගෙන් දෙදෙනකු පොලිස් කොස්තාපල්වරු වන අතර පස්දෙනකු හමුදා සේවයේ සිටි අය බව ඔහු පැවසීය.
වෙඩි තැබූ ගිනිඅවිය සොයා විමර්ශන පැවැත්වෙන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.