අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවා සිටියදී පාතාලයේ ප්‍රබලයන් බව පැවසෙන වික්‍රමරත්න නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිදු මල්ෂික ගුණරත්න හෙවත් කුඩු සළිදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට සැළසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවකු බව පැවසෙන ජයසේකර විතානගේ රුවන් චාමර හෙවත් මිදිගම රුවන් නමැත්තා තවදුරටත් අප්‍රේල් මස 2 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඊයේ(5) නියෝග කළාය.
සැකකරු විවෘත අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ නැති අතර සැකකරු ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය කළාය. ඉදිරි දින සැකකරු ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
සැකකරු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් කඩිනමින් කැඳවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය මේ සිද්ධිය සම්බ්නධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන අනෙකුත් සැකකරුවන් සම්බන්ධයෙන් වාර්තාවක් ගොනු කරන ලෙසත් ඉදිරි දිනට පෙර ඔවුන් නිරීක්ෂණ සඳහා යොමු කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවා සිටිය දී පාතාලයේ ප්‍රබලයන් බව පැවසෙන වික්‍රමරත්න නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට සැළසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රඳවා ප්‍රශ්න කළ සැකකරු සම්බන්ධයෙන් උදෘත නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කරන ගොනුවට අදාළ විස්තර ඉදිරි දින අධිකරණයට ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා ප්‍රශ්න කරමින් සිටින සැකකරුවන්ට පලා යාමට උදව් කළ බවට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන පලා ගිය, මේ වනවිට රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන පොලිස් නිලධාරියාගේ මව ඇතුළු පිරිසක් ඇප මත මුදා හැර ඇත. හරක් කටා හෙවත් නදුන් චින්තක යන අයගේ ඩුබායි හි සිටින බිරිය වන මහේෂිකා මධුවන්ති යන අය එම සිද්ධියේ 14 වන සැකකරු ලෙස නම් කර ඇත.