නවතා තිබූ වාහනයේ රියැදුරු මරුට
පොලිස් අධිකාරි ඇතුළු 3කට තුවාල
රාජ්‍ය බුද්ධි සේවයේ නැඟෙනහිර පළාත භාර සහකාර පොලිස් අධිකාරිවරයා ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ නවතා තිබූ තවත් සුඛෝභෝගී මෝටර් රථයක ගැටී අනතුරට ලක්ව ඇත. මේ අනතුරින් නවතා තිබුණු මෝටර් රථයේ රියැදුරු මියගොස් සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු තිදෙනක් තුවාල ලබා ඇති බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ කළුතර දකුණ, මුස්ලිම් පල්ලිය පාරේ පදිංචිව සිටි ඒ.බි. රිස්වාන් (34) නමැත්තෙකි. අනතුර සිදුවන්නේ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්රදේශයේ දී පෙරේදා (04) අලුයම් කාලයේදීය. තුවාල ලැබූවන් අතර සහකාර පොලිස් අධිකාරිවරයා, ඔහු ගමන් ගත් මෝටර් රථය පැදවූ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයා සහ මියගිය පුද්ගලයා පැදවූ මෝටර් රථයේ ගමන් ගත් මගියකු ද වන බව පොලීසිය කියයි.
රාජ්‍ය බුද්ධි සේවයේ නැඟෙනහිර පළාත භාරව රාජකාරි කරන සහකාර පොලිස් අධිකාරිවරයා කොළඹ පැවැත්වෙන රාජකාරි කටයුත්තකට සහභාගිවීමට පැමිණෙමින් සිටියදී මේ අනතුරට සිදුව ඇත. අනතුරට ලක්වූ මෝටර් රථය මාසික කුලී පදනම මත ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට පවරාගෙන ඇති එකකි. ජීප් රථය, වැලිපැන්න පිවිසුම පසුකර කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී අනතුරට ලක්ව ඇත්තේ කාර්මික දෝෂයකට ලක් වූ නතර කර තිබුණු මෝටර් රථයක ගැටීමෙනි.
කාර්මික දෝෂයට ලක්වූ රථයේ රියැදුරු මෝටර් රථයෙන් බැස එහි පිටුපස සිටගෙන සිට ඇති අතර මෝටර් රථයේ වම්පස අසුනේ තවත් මගියකු අසුන්ගෙන සිට ඇත.
පොලිස් නිලධාරීන් දෙදෙනා ගමන් ගත් සැප මෝටර් රථයේ පිටුපස සිට ගෙන සිටි රියැදුරු ද යට කරගෙන ගොස් මෝටර් රථයේ ගැටී තිබේ. මෙහිදී තුවාල ලැබූ සිවුදෙනා නාගොඩ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව රියැදුරු පැය කිහිපයකට පසු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
අනතුරින් මෝටර් රථ දෙකටම බරපතළ හානි සිදුවී ඇත. අපරීක්ෂාකාරී සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ පොලිස් කොස්තාපල් රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. අධිවේගී මාර්ග පොලිස් අනුපාලක ස්ථානය (කුරුඳුගහහැතැක්ම) ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත කොළඹගේ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (28849) වීරසේකර නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.