වර්තමාන දේශපාලන තත්ත්වය, ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය සහ ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳ ඇති සූදානම කුමක්ද? යන්න පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරනු ලබනවා, මේ මැතිවරණය සඳහා ඔබ පක්ෂයේ සූදානම මොන වගේද?
අපි තමයි වැඩිම කාලයක් රට පාලනය කළ දේශපාලන පක්ෂය. ඒ නිසා අපට රට පුරා විහිදුණු දේශපාලන ජාලයක් වගේම පාක්ෂිකයන් සිටිනවා. ඒ නිසා අප ගම් මට්ටම දක්වා විහිදෙන දේශපාලන ක්‍රමවේදයක් නිර්මාණය කර තිබෙනවා. අනෙක අපි තනි පක්ෂයක් විදිහට නෙවෙයි පොදුජන එක්සත් පෙරමුණ විදිහටයි තරග කරන්නේ. ඒ සඳහා ප්‍රගතිශීලි දේශපාලන පක්ෂ රැසක් අපත් සමඟ එක්ව සිටිනවා.
ඒත් 2015 වසරෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාල කඩාවැටීමකට ලක් වුණා. එවැනි දේශපාලන පක්ෂයක් නැවත නඟාසිටුවීමට හැකියාවක් ලැබෙයිද?
2015 වර්ෂයෙන් පසු පක්ෂය ලොකු කඩාවැටීමකට ලක් වූ බව ඇත්ත. 2018 වර්ෂය වෙද්දි අපේ පක්ෂය පැහැදිලි බෙදීමකට ලක් වුණා එහි ප්‍රතිඵලය වුණේ පොහොට්ටුව විදිහට කණ්ඩායමක් අපෙන් වෙන්වීමයි. ඒ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇතැමුන් ඉවත් වුණත් අපේ පක්ෂය විනාශ වුණේ නැහැ. දැන් අපට හැකියාව ලැබී තිබෙනවා පක්ෂයක් විදිහට නැවත නැඟී සිටීමට. ඒ සඳහා වන ගමන තමයි දැන් අප ආරම්භ කර තිබෙන්නේ.
අපෙන් ඉවත්ව ගිය පොහොට්ටු කණ්ඩායම ඉතාමත් වේගයෙන් කඩාවැටුණා. ලක්ෂ හැට නවයක ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් ඔවුන් පසුගිය මහමැතිවරණයේදී ලබා ගත්තේ ඡන්ද ලක්ෂ දෙකහමාරක් පමණයි. ඒ සමඟ එම දේශපාලන ව්‍යාපාරයේ ගමනත් අවසාන වෙමින් තිබෙනවා.
ආණ්ඩුව එක් කණ්ඩායමක් විදිහට තරග කරද්දි එකම දේශපාලන මූලයකින් පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව වෙන්ව තරග කිරීම තුළ පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළත් පොදුජන එක්සත් පෙරමුණු සන්ධානයට අභියෝගයක් වෙනවා නේද?
පොහොට්ටුව කියන්නේ වෙනම දේශපාලන පක්ෂයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ තවත් දේශපාලන පක්ෂයක්. පසුගිය මැතිවරණවලදී අප තරග කළේ කණ්ඩායම් දෙකක් විදිහට තමයි, එහිදී පොහොට්ටුවට තිබෙන ඡන්ද ප්‍රමාණය කොතෙක්ද කියලා හොඳින්ම තහවුරු වෙලා තිබෙනවා. ඒ නිසා අපට පොහොට්ටුවේ දේශපාලන ක්‍රියාකාරීත්වය කිසිදු අභියෝගයක් වෙන්නේ නැහැ.
ඒත් පොහොට්ටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභියෝගයක් නොවන බවයි එම පාර්ශ්වය කියන්නේ, මේ ගැන ඔබේ ප්‍රතිචාරය මොන වගේද?
අද වන විට අපේ පැරණි පාක්ෂිකයෝ වගේම අලුත් තරුණයන්ද අප පක්ෂය වෙත එක්රොක් වෙමින් සිටිනවා. ඒ නිසා අපට නම් පොහොට්ටුව අභියෝගයක් නොවෙයි. ඒත් පොහොට්ටුවට අද අප අභියෝගයක් වෙලා ඉවරයි.
අප පක්ෂය මුල් කරගත් දේශපාලන සන්ධානය ඉදිරි දේශපාලන කටයුතු සාර්ථකව ඉදිරියට කටයුතු කරමින් සිටින්නේ. ඒ අනුව බිඳවැටුණු අපේ පක්ෂය නැවත අනාගතයේ ආණ්ඩු බලය ලබා ගන්නා ප්‍රධාන විකල්ප දේශපාලන පක්ෂය බවට පත්වීමට නියමිත දේශපාලන කණ්ඩායම බවට පත්වීම අනිවාර්යෙන්ම සිදුවන දෙයක්. ඒ නිසා පොහොට්ටුවට ලොකු දේශපාලන අනාගතයක් නැහැ.
එහෙත් පොහොට්ටුවේ නායකත්වය නිසා ඔවුනට දේශපාලන වශයෙන් යම් වාසියක් තිබෙනවා නේද?
ජනතාව පුද්ගලයන් පිටුපස යන දේශපාලනය පිටුදැක අවසන්. ඒ නිසා ජනතාව දැන් පිළිගනු ලබන්නේ පුද්ගලයන් නොවෙයි නිසි ප්‍රතිපත්ති සහිත දේශපාලන වැඩපිළිවෙළකුයි. ඒ සඳහා අප දේශපාලන පක්ෂයක් විදිහට සැලසුම්සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින්නේ. පුද්ගලයන් කේන්ද්‍රගතව සිදු කරනු ලබන දේශපාලනය වර්තමානයට නොගැළපෙන්නක් බවයි මගේ හැඟීම.
පසුගිය අවුරුද්දම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සිටියේ උසාවිවල. ඒ දවස්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම නඩුවක් කියලයි සඳහන් වුණේ දැන් පක්ෂයේ ආරවුල් අවසන්ද?
හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා උසාවියේදී පොරොන්දු වුණා, නැවත පක්ෂයේ සභාපති ධුරයට බලපෑම් නොකරන බවට. දැන් අප අතර කිසිදු දේශපාලන අරගලයක් නැහැ. දැන් පක්ෂය එකම කණ්ඩායමක් විදිහට කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා පසුගිය කාලයේ අපේ පක්ෂයම නඩුවක් කියලා කිවුව අයට කියන්නට කැමැතියි දැන් අප සමගියි, එකමුතුයි කියලා.
ඔබ එසේ කීවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා රට ඉදිරියේ පෙනී සිටින්නේ තමන් ද ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරයකු විදිහටයි. දයාසිරි ශ්‍රීලනිපයට සම්බන්ධ නැද්ද?
දයාසිරි ජයසේකර මහතා අපේ පක්ෂයේ මන්ත්‍රීවරයකු නොවෙයි. ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණයි. ඔහු පිළිබඳ හෝ ඔහු කියන කිසිදු ප්‍රකාශයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපේ කිසිම වගකීමක් නැහැ.
අප පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී දේශපාලන පක්ෂයක් විදිහට සාමූහිකව යම් දේශපාලන තීන්දුවක් ගත්තා. ඒ දේශපාලන තීන්දුව ජයග්‍රහණය කිරීම සඳහා වැඩ කළා. ඒක අපේ පක්ෂයේ තීරණය. ඒත් දයාසිරි ජයසේකර මහතා ඒ තීරණයට පිටින් වැඩ කරමින් සමගි ජන බලවේගය සමඟ දේශපාලන ගනුදෙනුවකට ගියා. ඒ නිසා දයාසිරි ජයසේකර මහතා පිළිබඳ අපේ පක්ෂයට කිසිදු දේශපාලන වගකීමක් නැහැ. ඔහු අපේ පක්ෂයේ කෙනෙක් නොවෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළා, මහමැතිවරණයේදි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විදිහට සන්ධානගතව සිලින්ඩරය ලකුණ යටතේ තරග කළා. ඒත් දැන් අප ඒ ස්ථාවරයෙන් ඉවත්වයි සිටින්නේ. මා මුලින් සඳහන් කළ ආකාරයට අප දැන් ප්‍රගතිශීලි සහ වාමවාදී අදහස් දරන කණ්ඩායම් සමඟ අපේ දේශපාලන ගමන ආරම්භ කර තිබෙන්නේ.
එක්සත් ජාතික පක්ෂය සමඟ තිබූ අවබෝධතාවය බිඳවැටුණේ ඇයි?
අප රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහයෝගය පළ කළේ පෞද්ගලික පරමාර්ථ වෙනුවෙන් නොවෙයි. එදා රට තිබූ අසීරු අඩියෙන් රට ගොඩගන්න ඔහු දැරූ උත්සාහයට සහාය දීමක් විදිහටයි. 2022 වර්ෂයේදී අප පක්ෂය එවකට තිබූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් ඉවත් වුණා. ඒ අප පක්ෂයක් විදිහට ගත් තීරණයක් අනුවයි. ඉන්පසු ආර්ථික අර්බුදයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ කාර්යයට ශක්තියක් ලබා දීමක් විදිහටයි ඔහු සමඟ එකතු වුණේ. එහිම දිගුවක් තමයි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහාය පළ කළේ. ඉන්පසු නැවත මහමැතිවරණයේදී සිලින්ඩරය ලකුණෙන් තරග කළා. එහෙත් දැන් ඒ සම්බන්ධය අවසානයි. දැන් එක්සත් ජාතික පක්ෂය ඒ අයගේ දේශපාලනය කරනවා. අපි අපේ දේශපාලනය කරනවා. අප දෙපාර්ශ්වය අතර කිසිදු දේශපාලන සම්බන්ධයක් නැහැ.
විපක්ෂයේ දේශපාලන පක්ෂ ආණ්ඩුවට විරුද්ධව එකට එකතු විය යුතු බවට මතයක් තිබෙනවා. ඒ අදහස ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
අප පොදුජන එක්සත් පෙරමුණ විදිහට කරමින් සිටින්නේ ඒ දේ තමයි. අප හිතනවා අප වටා මෙරට සියලු ප්‍රගතිශීලි දේශපාලන කණ්ඩායම් එකතු වෙයි කියලා.
සමගි ජන බලවේගය සමඟ අවබෝධයක් ඇති කර ගත යුතුයි නේද, සමගි ජන බලවේගය රටේ ප්‍රධානම විපක්ෂය විදිහටයි සිටින්නේ ඔවුන් නිසා?
නැහැ. අපගේ දේශපාලන ධාරාව සහ ඔවුන්ගේ දේශපාලන ධාරාව එකිනෙකට වෙනස්. ඒ නිසා සමගි ජනබලවේගය ගැන විශේෂ අවධානයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නැහැ.
ඔබ නියෝජනය කරන පක්ෂය මෙරට වැඩිම කාලයක් ආණ්ඩු කළා. එහෙත් මෙවර ජනාධිපතිවරණයේදී බලයට පැමිණියේත් මහමැතිවරණයේදී 2/3ක් සහිතව. මෙවර ජයග්‍රහණය කළෙත් අලුත් දේශපාලන කණ්ඩායමක් , මේ අලුත් ආණ්ඩුව ගැන ඔබේ අදහස කුමක්ද?
අලුත් පිරිසකට රටේ ජනතාව බලය දුන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇතිවයි. ඒ දේ ඔවුන් තේරුම් ගත යුතුයි. ඒ බලාපොරොත්තු ඉටු කිරීමට. එහෙත් අද වන තෙක් ආණ්ඩුව ජනතා අපේක්ෂා නිසි ලෙස තේරුම් ගෙන කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ. අපි ආණ්ඩුවට බාධා කරන්නේ නැහැ. ඔවුනට ලැබුණ අවුරුදු පහ තුළ ජනතාව අපේක්ෂා කරන ලද කාර්යභාරය ඉටු කරන ලෙස අප නව ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එය එසේ නොවුණොත් ජනතාව වෙත ප්‍රජාතන්ත්‍රවාදීව තම ඡන්දය ලබා දිය හැකි පළමු අවස්ථාවේදීම සිය විරෝධය පළ කරාවි.
අනෙක, අපට බලය ලබා ගැනීමට හදිසියක් නැහැ. ඒ නිසා අප බලාපොරොත්තු වෙනවා, ජනතා අපේක්ෂා තේරුම් ගෙන ඒ අනුව ආණ්ඩුව කටයුතු කරාවි කියලා. පසුගිය මැතිවරණවලදී ඡන්දය ලබා ගැනීමට විශාල පොරොන්දු ප්‍රමාණයක් විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් ජනතාව වෙත දුන්නා. ඒ නිසා ඒ බලාපොරොත්තු පොරොන්දු ඉටු කරන තුරු ජනතාව නොඉවසිලිවන්තව බලා සිටිනවා.
මම නියෝජනය කරනු ලබන්නේ ගොවි ප්‍රදේශයක්. ඒ නිසා ගොවි ජනතාවගේ ආර්ථිකය කෘෂිකර්මාන්තය දියුණු කළ හැකි වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක කළ යුතුයි. දීර්ඝකාලීනව ගොවි ප්‍රශ්න විසඳන්න පුළුවන් වැඩපිළිවෙළක් තමයි අපේ රටට අවශ්‍ය කරන්නේ. ඒ නිසා ආණ්ඩුව තාවකාලික දේවල් නොකර ස්ථිර සහ දීර්ඝකාලීන වැඩසටහන් වෙත යොමු විය යුතුයි.
උදිත ගුණවර්ධන