Home » වසත් සුළඟ

වසත් සුළඟ

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

තාත්තා

තාත්තේ…ඔයා එනකම්
ගේ ඉස්සරහ වතුසුදු ගහයට
ඉඳගෙන ඉස්සර වගේම අදත්
බලාගෙන ඉන්නවා…
කඩචෝරු වලින් පිරුණු අත්දෙක
අහිංසක හිනාව
ඒ ලස්සන මුහුණ
කලබලයක් නැති ගමන
තාම මට හීනයක් වගේ…
මං ආසම රතුපාට ෂර්ට් එක ඇඳගෙන
හැන්දෑවට හෙමිහිට ගෙදර
එන ඒ  ඡායාව
තාත්තේ ඔයා එනකම් මම
වතුසුදු ගහයට ඉඳගෙන තාමත් බලාගෙන ඉන්නවා…

කුමාරි ප්‍රේමරත්න


 

අනේ මන්දා

මඟ ඇරපු නුඹ දෙස බලපු              හින්දා
පරණ දුක මං අදත්                          වින්දා
දුක හිතුනු හිතකට මෙහෙම             හිතුනා
මොකුත් නොකියමි අනේ        මන්දා

ලංකානි ප්‍ර බොධා


 

තුරු පත්

හරිත පැහැයට ලොබ බැඳ
හිරුගෙ උණුසුම විඳ විඳ
මල් පිපෙන තුරු සිටියද
ඉතිරිම සැකිලි විතරද

නොදුටුව මලක මුවරද
සංකා තැවුල් සිඳ බිඳ
මුල් ඇදී ගිය පොළොවද
පොහොණි කරනට යනවද

නයෝමී අමරසිංහ


කැලෑ මල් පෙති

මහා තුරු යට
උස්ව විහිදුණු
ඒ විසල් රළු බිම් පුරා..
නොබෝ තලයක්
නොගැටෙමින් ඇස
ඒ සෙවණෙ හද හිස්වුණා..

නෙක රුවින් හැඩව පොබවුවත්
ඒසීත හරිතය තුළ අයා..
කැලෑ මල් පෙති
තමයි සියුමැලි
ලොවට හොරැහින් හිනැහෙනා…

මොනිකා ලියන්ජලී ඉලංගසිංහ


වරා මලකට

මඳ සුළඟ පිටු පෑව විට දිනක      සෙව්ව
දුර යන්න වරා මලකට පාර            කිව්ව
ඉන් පසුව ඈත්වුණු අය  ගව්ව        ගව්ව
හේතුවම විය මගක තුන් සිතම        නිව්ව

මල්කා රත්නතුංග


සුපුරුදු  ඒ සුවඳ

සුළඟ එන්න
සුපුරුදු ඒ සුවඳ රැගෙන
මවෙත එන්න
ඔබ නිසලය
මුව ගොලුමුත්
දෑස් කෙවෙනි ඉතිරීයන
කඳුළු නැතත්
වැලපෙන මා
හද දකින්න
සුළඟ එන්න

ශයිනි පූර්නිමා


සාහසික මරණ

ඉර මැදියමේ
කරවෙලා කළු ගැහුණු
සැකලි බොඩියට
හුස්ම පිඹ පිඹ
බර අදින පන්තියෙත්…

අතින් අත මාරුවී
හූල්ලා තැළුණු මුත්
කුණු ක‍යට කුණු වැකුණු
මොනර කොළයක් දෙකක්
උරුම වූ පන්තියෙත්…

සිලිං බෑගයක
හුළං වැඩි ඉඩකඩක
හාල් අහුරක් දෙකක්
ගෙදර ගෙනියන
කොළඹ පොඩි පන්තියෙත්…

හෙට්ටු කළ බඩවියත
පෙට්ටි කඩයේ
කහට තේකෙන්
පොඟවලා නිවන
දුප්පත්ම  පන්තියෙත්…

ජීවිතේ බිල්ලට තබා
හෙට දවස ඔට්ටු කර
පන්තිවල හදවත්
සාහසිකවම මරා ඇත,
සල්ලිවල පීනමින්
සුර සැපට
ගිනිකණ වැටී
පන්තියෙන් පන්තියක්
මිමී තියා වෙන් කරන
නින්දත් අයිති නැති
නිදි වදින කොළොම්පුර
හයිෆයිම පන්තියක්…


අංජලී දාබරේ

සියලු දේ ලැබුණු ගැහැනිය

විසි පස් වියැති මනාලිය
වසරකින් පුතෙක් බිහිවිය
සහෝදර දෙමවුපිය
රජයෙ සේවිකා ඔටුන්න

අන්තිමට ඇය සිනාසුණි
ඇයට ඇති දේ නොමැති අයට
කර්මයට ළඟා විය පුනර්භව
ඇයට සැමියා අහිමි විය

සුධර්මා සමරසේකර


දන්නවද  උත්තරා

අත අතැර යන අඳුර ගැන
දුකින් කිම සඳ මිතුරිය?
දරා ඉමි යයි කියා සමුගත්
පසුද රහසේ සැඟවීද ඉකි හඬ?
මඟ කියූ තරු එළිද දහසක් පසුකර
රැයක්‌ වුව නවතීද එක තැන?
කෙනෙකු ළඟ සෘතුවක් නිමා කර
කෙදින හෝ මොහොතක
හැම කතාවම ඇරඹිය යුතුව ඇත
කොතැන හෝ නාඳුනන ඉසව්වක..
දන්නවද උත්තරා..,
සංසාරේ කියන්නෙම දිවිල්ලක්
සමහරක් හමුවීම් කියන්නෙම
ඒ ගමනේ ගිම් නිවන ඇසිල්ලක්..!

තිළිණ ගාල්ලගේ


ඔබ

කොහේදෝ ඉඳගෙන
ඇහිපිල්ලමක එතීගෙන
නිදන්නට ඉඩ නොදී
අවදි කරයි මා
රෑ මැදියමෙත් මොහොතක්.

මම …
කවුළුවක් අසල හිඳගෙන
කළුවර මැදින් පෙරී එන
රිදී කෙඳිති මත නැටවෙන
සෙවනැලි දිහා බලාගෙන
සාද කතා බහක
තරුවක් එක්ක වරුවක්.

ඔබ …
බොහෝ දුර ඈතක
පන්හිඳක් ළඟ තනිවම
හිත කොනිත්තන මතක
අකුරෙන් අකුර අමුණ අමුණ
වියමින් කවි පැදුරක්.

මම …
දුර බනුවකට එබීගෙන
විසූක දස්සන බල බල
තනියම හිනා වෙවී
ඒ කවි පැදුරේ ඇලවෙන කොට
Take care කියමින්
මැකී ගිහින්
කොළ පාට තිතක්.

රේණුකා සුදර්ශනී


අළු ගෙන යන්න ආදරෙ

අනුන් වෙනුවෙන් සෑම දිනකම
කඳුළු සලමින් නැහෙන්නට ඇති
තමන් ගැන නොහිතාම බිඳුවක්
යුතුකමට  දුන්නෙහිද තැන නිති
වදන් අවමංගල සභාවෙදි
ගුණ කථන මහ ගොඩකි
මල් ඉති ඉතින් දැවුනට පසුව
අළු ගෙන යන්න ආදරෙ වලංගූ නැති

ජීවිතේ මහ ගොඩක් හිස්තැන්
පුරව ගන්නට බැරිව තැවුනද
මීවිතේ මධු සාද සමඟින්
එක්ව උන් අය මඟින් හැලුනද
හාමතේ උන් දවස් ගණනට
වැඩිය අද හොඳටෝම රිදුනද
මාරුතේ කඳුළක්ම නොහෙලා
අනියතය ගැන කිව්ව ඇහුනද

පවිත්‍රා සෙව්වන්දි


මයුරා වන්නම

මනරම්
රැඟුමක්ය
කඳ සුරිඳුගෙ
දඬු මොණරය…

 

ගොවි රජුගෙ
අස්වනු
ගිල දමනා
පිළිලයක්ය…

දෙසවනට
අපුලක්ය…

අත අතර
සැඟවගෙන
නංවනා
කෙකාරාවය…

නන්දසිරි ද සිල්වා


පාළුවෙයි සඳ රෑට

අමුනන්න නෑ හිතක්
මුතු පබළු පෙම් කවක්
සිතද ගොළු වී හඬයි
ඉවසන්න බෑ තවත්

සඳ එළියෙ සඳ ගැනම ලිව්වාලූ
සා පැටව් එක්ක කවි ගැයුවාලූ
සඳ එළිය කාගෙදැයි සිතන්නලූ
සදහටම හිරු මෙමට අමතකලූ

ඉර නගන අපවාද සඳපාන දුන්නාට
ණයට දුන් සඳපානේ කවි පොතම ලිවුවාට
මගෙ හිතම හැමදාම හිරු ළඟම රැඳුනාට
මගේ ළඟ කිසිදාක හිරු හිටියෙ නැතුවාට

උහුලන්න බෑ ඉතින් ඉර නගන අපවාද
ඇහෙනවද සාවුනේ මාරුතේ නිම්නාද
මට එන්න බෑ තවත් සඳගිරට දුර ඈත
යන්න සා පැටවුනේ පාළුවෙයි සඳ රෑට

ඉරාණි නිල්මිණී අබේකෝන්


ඉස්සර ගෑනු එහෙමය

අලුත් පෙම්වතිය පියකරු
දිගු වරලස ලෙලවමින්
කටොස් කටොස්
උල් සපත්තු නද දෙමින්
තාරකා මල් පැහැති
දිගු ගවොමින් සැරහී
ආවාය මා බලන්නට උයනට
පළමු දිනයේම ඕ හිඳගති
මා උකුලෙහි
මා සුරත ගෙන කලව මත
තදින් තෙරපාගනිමින්
ඇයම වීඩියෝ ගත කලෝ
ඒ ටික් ටොක් හි උඩුගත කරන්නටය
පළමු විවාහ සහතිකය ගිනි ගෙන
දසවසකින් පසුවය
පෙම්වතෙකු වූයේ
ඉස්සර ගෑනු ආඩම්බර වැඩිය
අද දිනට අපි දෙදෙන
ගිය දුර යන්න
උන් අවුරුද්දක්වත්
ගත කරනු නිසැකය

පැතුම් බුද්ධික ලියනගේ


අලුයමය   පැමිණ

හදිස්සියෙ ම’
ඔරලෝසු කටු
තටු සලා ගස්සා
ඇහැරවන විට

විමසන..

ජීවිතය මෘදු ද ?
ඉතා නිස්කලංක ද ?

 

රැහැන් බද කෙරවළ
ගේ කුරුලු පේළිය ‘
පුංචි ම තිරිඟු යාය
සිහිකරන යැදුම් ගායන
නොතේරෙන තරමට ම

පැරැණි වටකුරු
ග්‍රැමෆෝන තැටිය
මඳ තාල තබමින්
ත්‍රිකෝණකාර ව
රංගනයේ යෙදෙන

අලුයමය කියන්නෙ
බාල් නැටුමක් ය.’

පමාවක් නොදුටු සේ..
හිටියාට මේ පමාවක් ය

කාමරයෙ ඇතුළු
කළු කුහර වෙත
ජනෙල් පියන් හැර
සුළඟ කඩා වදින් නැත

බළල් ගැටිත්තෙකු ගෙ
ඇදෙන සුළු බූල් නැටි
පුරු පුරු ගෝර නාඩු
මුණු මුණු හඬන් නැත

 

මහලු ඉර එළිය
වේයෙක් වෙසින්
දුහුල් ඇතිරිලි මත
තුබස් සෙල්ලම්
ගෙවල් බඳින් නැත

ඇත්තටම !

කොට්ට උර  පවා
තුනී වලාකුළු වියන්
යහනක් ම ය හැම
පිහාටු සිහිනයකට

ඉතින් තවමත්’
මම  කැමති

උදුපියළිය සෙවණැලි
ළපටි තට්ටු හැඩැති
පෙති කිහිපයකට ද ?

දිගක් පළලක් නැති
ඒ කෙටි සිතුවිලි
ගොන්නට ද ?

ෂෙහානි ප්‍රනාන්දු

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT