ආබාධ සහිත තැනැත්තන්ගේ අන්තර්ජාතික දිනය යෙදී ඇත්තේ දෙසැම්බර් මස 3 වැනිදාට ය. ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇත්තේ 2006 වසරේදීය. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 8.7%ක් හෙවත් ලක්‍ෂ 16කට ආසන්න පිරිසක් ‘ආබාධිත ප්‍රජාව’ යන ගණයට අයත් වන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
ආබාධිත ප්‍රජාව පිළිබඳ ඉහත දත්ත උපුටා ගැනීමට සිදු වූයේ ඉකුත්දා පාර්ලිමේන්තුව හමුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් ආබාධිත ප්‍රජාවට අපහාසය දනවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කරනු ලැබීම හේතුවෙනි. එහිදී මන්ත්‍රී දයාසිරි ජයසේකර ස්වකීය ප්‍රකාශය මඟින් අපහාසයට ලක් කළේ තමන්ගේ සමකාලීන සරසවි සගයකු වන දෘශ්‍යාබාධිත මන්ත්‍රී සුගත් වසන්ත මහතාය.
“ඌ දැකලත් නෑ අපිව, අඳුරන්නෙත් නෑ. නිකං අතගෑවම තමයි දන්නෙ. ඌත් අවුරුදු 76 ගැන කියවනවා!”
මේ පංශුදේහධාරි, ගායක, කලාකරු, ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයකු යැයි තමාම කියන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමාගේ හැඟීමකි. ශ්‍රී ලාංකේය ආබාධිත ප්‍රජාව පිළිබඳ ඔහුගේ කියවීම ඒ ආකාර ය.
මන්ත්‍රී සුගත් වසන්ත යනු නිකම් ම නිකම් මන්ත්‍රීවරයෙක් නොවේ. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘශ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ය. මෙතෙක් කලක් ප්‍රභූ දේශපාලනයේ බූදල් බවට පත්ව පැවති පාර්ලිමේන්තුව තුළ දෘශ්‍යාබාධිත අයකුට මන්ත්‍රී ධුරයක් හිමි වූයේ නැත. දෑස් පෙනෙන මිනිසුන් විසින් ඔවුන්ට අභිමත ආකාරයට ආබාධ සහිත ප්‍රජාවට සැලසුම් සකස් කිරීම මෙතෙක් කලක් සිදු වුව ද, ආබාධිත ප්‍රජාවගේ පාර්ශ්වය පාර්ලිමේන්තුවේ නියෝජනය වන්නේ පළමුවැනි වතාවට ය.
මන්ත්‍රී දයාසිරි ජයසේකර අපහාසයට ලක් කරන්නේ මෙරට අව වරප්‍රසාදිත ආබාධිත ප්‍රජාවයි. ඒ ඔවුන්ගේ උන්නතිකාමි බල දේශපාලනයේ ස්වභාවයයි. ‘උඹලා කවුද? උඹලට දේශපාලනේ කරන්න ඇති අයිතිය මොකක්ද? එහි උරුමකරුවන් අපි තමයි…’ වැනි උන්මත්තක ස්වරූපයේ යටිපෙළ අර්ථයක් දයාසිරිගේ ප්‍රකාශයෙහි ගැබ්ව ඇත.
ආබාධිත ප්‍රජාව යනු විශේෂ අවශ්‍යතා ඇති පුද්ගල සමූහයකි. ‘ආබාධ ඇති තැනැත්තකු’ යන්නෙන් සහජයෙන්ම ඇති වූ, එසේ නොවූ මෙන් ම ශාරීරික, මානසික හැකියාවන්හි යම් ඌනතාවක ප්‍රතිඵලයක් වශයෙන් ජීවිතයේ අවශ්‍යතා මුළුමනින් හෝ කොටස් වශයෙන් හෝ තමා විසින්ම තමා සඳහාම ඉටු කර ගැනීමට නොහැකි යම් තැනැත්තකු යන්න අදහස් වේ. දෑසම පෙනෙන, නීරෝගි දයාසිරි ජයසේකර අපහාස කරන්නේ එවැනි ප්‍රජාවකට ය.
ආබාධිත ප්‍රජාවගේ ස්වාධිපත්‍යය පිළිබඳ අයිතිවාසිකම් තහවුරු කිරීම; ප්‍රමාණවත් ජීවන මට්ටමක් සහ සමාජ ආරක්ෂාව තහවුරු කිරීම; සෞඛ්‍ය ආරක්ෂක සේවාව තහවුරු කිරීම; ස්ථානවලට ප්‍රවේශ වීමේ හැකියාව සහිත නිර්මිත පරිසරය නිර්මාණය කිරීම; ප්‍රවාහනය, සන්නිවේදනය හා උපකාරක තාක්ෂණය ඇති කිරීම; තොරතුරුවලට සහ සන්නිවේදනයට පිවිසීමේ හැකියාව තහවුරු කිරීම යනාදිය තහවුරු කළ යුතු බව විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සවිබලගැන්වීම සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද කාර්යසාධන වාර්තාවේ ද සඳහන් වේ. මන්ත්‍රී දයාසිරි ජයසේකරට විවේකයක් ඇති විටක පාර්ලිමේන්තු පුස්තකාලයට ගොස් ඒ ලේඛනය කියවිය හැකියැයි අපි යෝජනා කරමු.
එවැනි ආබාධ සහිත ප්‍රජාවකට වාචික හෝ මානසික හිංසනය සිදු නොකිරීම, ප්‍රචණ්ඩත්වය සහ අපයෝජනය නොකිරීම ශිෂ්ටසම්පන්න ජන සමාජයේ භාවිතාවක් විය යුත්තේ ය. ගොඩනැඟිලි ඉදි කිරීමේදී ආබාධිත ප්‍රජාවට විශේෂ ප්‍රවේශ මාර්ග, පොදු ස්ථානවලදී විශේෂ වැසිකිළි කැසිකිළි නිර්මාණය, විශේෂ වූ අධ්‍යාපන ක්‍රම නිර්මාණය, සමාජ ක්‍රියාකාරකම්වලදී මුල් තැන දීම වැනි කටයුතු සිදු කරන්නේ ඔවුන්ට ප්‍රමුඛත්වය දීම සහ ගරු කිරීම වෙනුවෙනි.
‘ආබාධ සහිත ප්‍රජාවට දෙපයින් සිට ගැනීමට හැකි සමාජයක් නිර්මාණය කරමු’ යනුවෙන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද ‘එක්ව අත් නොහැර’ යන හිසින් මේ පිළිබඳ සඳහනක් වෙයි. දෘශ්‍යාබාධිත මන්ත්‍රී සුගත් වසන්තට මන්ත්‍රී ධුරයක් පිරිනැමුණේ ඒ අනුව ය. සහකම්පනය සහිත ජන සමාජයක් ගොඩනැංවීමේදී මානව ආකල්ප වෙනස් විය යුතු බවට වන කාරණය සඳහා මෙය කදිම සාක්ෂියකි.
‘ගොළුවෙක් වගේ, බීරෙක් වගේ, අන්ධයෙක් වගේ’ යනුවෙන් වූ සමාජ භාවිතයන් ද මිනිසුන්ගේ ආබාධ පුද්ගල නාම විශේෂණ සඳහා භාවිත වූ බවක් ද අපේ මතකයේ වෙයි. “අත කොටා, සොත්ති උපාලි, කන්ගැට්ටා”… එවැනි නාම කිහිපයකි. මේවා ශ්‍රී ලාංකේය ජන මාධ්‍ය ද ඉතා වැඩි වැදගත්කමකින් යුතුව වාර්තා කරන බවක් දක්නට ලැබිණි.
මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දයාසිරිගේ සොහොයුරු සංගීත ශිල්පි කිත්සිරි ජයසේකර ද සමාව ඉල්ලා තිබිණි. එහෙත් දයාසිරි ජයසේකර සමාව ඉල්ලා තිබුණේ අදාළ මන්ත්‍රීවරයාගෙන් නොව, සමස්ත දෘශ්‍යාබාධිත ප්‍රජාවගෙනි. එය ද දේශපාලනික තක්කඩිකමකි. පෞද්ගලිකව අපහාස කර, පොදුවේ සමාව ඉල්ලීම දේශපාලනික තක්කඩිකමක් හැර අන් කවරක් ද?
අප විසින් ගොඩනඟනු ලබන්නේ වඩා ශිෂ්ටාචාරවත්, වගකියන, අනෙකාට ගරු කරන සමාජ ක්‍රමයක් නම්, මෙවැනි බාල වර්ගයේ ප්‍රකාශ සහ එවැනි සමාජ මනෝභාවයන් ද පිටුදැකිය යුතු ය.
අව වරප්‍රසාදිත ආබාධිත ප්‍රජාව මේ සමාජයේම සමගාමී කොටස්කරුවන් ලෙස සලකා, ඔවුන්ට හිමි සමාජ වගකීම ලබා දිය යුතු ය; ඒ සඳහා වන සමාජ වටපිටාව සැකසිය යුතු ය.
එහිදී, ආබාධිත ප්‍රජාවට අපහාස කරන, තමන් නිරෝගී යැයි සිතා ගත් ඉහත වර්ගයේ ‘වොයිස් කට්’ දේශපාලනඥයන්ගේ අපහාසාත්මක ප්‍රකාශ මුළුමනින් ම පිටුදැකිය යුතු ය; ඊට එරෙහි විය යුතු ය.