Home » ශ්‍රී ලංකාවට ගෙන් වන වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතුයි

ශ්‍රී ලංකාවට ගෙන් වන වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතුයි

by yasara
March 6, 2025 3:42 pm 0 comment

රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා වාහන ආනයනය කිරීමට අවසර දී ඇත්තේ කොන්දේසි යටතේ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන් පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පැවසූහ.

විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සහ අනවශ්‍ය මෝටර් රථ තොග රැස්කිරීම වළක්වා ගැනීම යන කරුණු සැලකිල්ලට ගනිමින් වාහන ආනයනය සම්බන්ධයෙන් මෙම කොන්දේසි පනවා ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ. ඒ අනුව, ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවසර ලබා දී ඇති වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතුය.

එසේම, ඕනෑම ආනයනකරුවෙකු විසින් ආනයනය කරන ලද මුළු වාහන සංඛ්‍යාවෙන් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, ආනයනය පිළිබඳ අවසරය අත්හිටුවන බව නිලධාරීහු පැවසූහ. එසේම නිසිකාලය තුළ ලියාපදිංචි නොකළ වාහන සඳහා 3% සිට 45%ක උපරිමයක් දක්වා දඩ මුදලකට ද යටත් වේ.

එසේම පුද්ගලික මට්ටමින් වාහන ආනයනය කිරීමට අවශ්‍ය නම් එක් වාහනයක් පමණක් ආනයනය කළ හැකි බවත්, ව්‍යාපාරයකට එවැනි කොන්දේසියක් නොමැති බවත් ප්‍රකාශ විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් 2025.03.04 දින පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම කරුණු අනාවරණය වූ අතර 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පළ කරන ලද අංක 2421/04 සහ 2421/44 දරන අති විශේෂ ගැසට් පත්‍ර මෙහිදී සැලකිල්ලට ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ දේශීය විදුලි වාහන කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපත්තිමය සහාය ලබාදීමට වන ඉල්ලීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. දේශීය විදුලි වාහන නිෂ්පාදකයින් සඳහා යෝජිත රේගු ආනයන බදු සහ අධිභාරයෙන් නිදහස් කිරීම සම්බන්ධ ඉදිරියේදී සාධනීය ලෙස සලකා බැලිය හැකි බව නිලධාරීහු ප්‍රකාශ කළහ.

2012 අංක 12 දරන මූදල් පනත යටතේ වාණිජ කේන්ද්‍රස්ථාන නියෝගය ද කමිටුව විසින් සැලකිල්ලට ගෙන අනුමත කරන ලදී. නිශ්චිත කොන්දේසි වලට යටත්ව 2025 පෙබරවාරි 21 වන දින දක්වා මාස 3 ක කාලයක් ඇතුළත LAUGFS ගෑස් ආයතනය හරහා එල්.පී ගෑස් මෙට්‍රික් ටොන් 9000 ක් දේශීය වෙළඳපොළට නිකුත් කිරීම සඳහා මෙම නියෝගය නිකුත් කරන ලදී.

මෙම රැස්වීමට  නියෝජ්‍ය අමාත්‍යවරුන් වන (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම සහ චතුරංග අබේසිංහ යන මහත්වරු ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, (ආචාර්ය) කෞෂල්‍ය ආරියරත්න, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT