ලෝකය විසින් අමතක කළ මනුෂ්‍ය ආත්ම තිස් අට දහසකි. අමතක කරනු ලැබුවා පමණක්ද, ඔවුනගේ ලිංගික ඡිවිතයද සමාජය විසින් උදුරා අහෝසි කර තිබේ. මෙය ඉන්දියාවෙි හින්දු ගැහැනියගේ ඛේදාන්තය යි. ගැහැනියකට සිය සිතැඟි පරිදි ලිංගිකව එක්වීමෙි අවකාශය අහිමිද ? එසේ අහිමි කළ හැකි නම් ඔවුන් කුමන ජාතියේ මිනිසුන්ද ? හින්දු දහම අදහන ගැහැනියකට සිය පුරුෂයා මිය ගිය පසු තවෙකෙකු හා ලිංගිකව එක්වීම තහනම් ය. කොටින්ම ඔවුන්ට සිය දේශපාලන කැමත්ත ප්‍රකාශ කිරීමේ ඡන්ද අයිතිය පවා අහිමි ය. මක් නිසාද මෙකී වැන්දඹුවන් බහුතරයක් ඡන්ද දායකයන් ලෙස ලියාපදිංචි වී නොමැති බැවිනි.
සැමියා මිය ගිය පසු එකී භාර්යාව මියගිය සැමියාගේ චිතකයටම පැන සිය දවි නසාගැනීමෙි ම්ලේචිඡ ක්‍රමය ඉන්දියානු රජයට මැදිහත්ව නවතා දැමීමට සිදුවුයේ හින්දු වැන්දඹුවට ඇති ආදරයක් නිසා නොව ඡාත්‍යන්තරව එල්ල වු ප්‍රබල පීඩනය නිසා ය. ඒ වෙනුවට දැන් ඔවුහු සැමියා මළ නිවෙසින් පිටමංව ඔවුනටම ආවේණිකව අම්බලන් මෙන් සාදා ඇති පාළු මන්දිරවල කල් ගෙවති. සිය ස්වාමිපුරුෂයා මළ විට ඇයව බොහෝ විට ඉන්දියානු සමාජය සිය පවුලෙන් නෙරපා හරී. ඉදින් සියලු ආශාවන් අත්හැර ඇය සිය ශරීර කුඩුවද රැගෙන ඇවිදිමින් වැන්දඹුවන්ගේ නගරයක් සොයා ඉන්දියාව පුරා ගමන් අරඹයි.
වැන්දඹුවන්ගේ නගර ඉන්දියාව තුළ බොහෝ ඇතත්, විරින්දාවන් ඊට සුප්‍රසිද්ධ ය. වැන්දඹුවන් තිස් අට
දහසකට අධික සංඛ්‍යාවක් එහි ආරාම හෝ අම්බලම් තුළ ස්වකීය මරණය දක්වා කල් ගෙවතිි. වින්දාවන්හි වැන්දඹුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් – 12,000ක් පමණ – වයස අවුරුදු 20ත් 45ත් අතර වෙති. ළමා විවාහ මෙහි ගාමක බලවේගය යි. ලෝකයේ වැඩිම ළමා මනාලියන් සිටින රට එයයි. ඔවුන් කාන්තාවන් ලෙස වෙනස් කොට සැලකීමට මුහුණ දෙනවා පමණක් නොව, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්, ශාරීරික හිංසනය, ගණිකා වෘත්තිය, ජාවාරම්, බලහත්කාර ශ්‍රමය සහ නෙරපා හැරීමට නිරන්තරයෙන් ගොදුරු වෙයි.
හින්දු ආගමික බැතිමතුන් මේ අසරණ ගැහැනුන් කූඩුවල ලෑ සතුන් ලෙස සලකා නැරඹීමට එති. එසේ නැරඹිමට එන මෙි ඊනියා බැතිමතුන් දෙන යම් දෙයකින් සමහරවිට බත් මුලකින් ඔවුහු යැපෙති. සැනසෙති. මෙම ගැහැනුන් මැරෙනතුරා එක් බතක් හා ව්යාඡනයක් ගිල දමා මරණය තමාවෙත එනතුරු සිය ආශාවන් පාලනය කර ගනිමින් පොදු සමාජයෙන් පිටමංව ජීවත් වෙති. සමහර වැන්දඹු නිවාස පාලනය කරන හිමිකරුවන් ඔවුන් රහසිගත ලෙස ගණිකා සේවයේ යොදවා මුදල් හමිබ කරති. The Water චිත්‍රපටියෙන් දීපා මේතා විසින් පෙන්වාදෙනු ලැබුවේ කිසිවකුට නොපෙනෙන මෙකී ලිංගික සූරා කෑම ය.
පුංචි කුටියක ගැහැනුන් එක්කෙනෙක් හෝ දෙදෙනෙකු ඡිවත් වෙති. එසේ නැතිනමි විශාල වැරන්ඩාවල කණ්ඩායම් ලෙස ජීවත් වෙති. මේ කිසිවෙකු මෙහි පැමිණි පසු සිය පවුල් වෙත කිසිදා නොයති. මනුෂ්‍යත්වය හැරදැමූ දු පුතුන් බැලීමට පෙරළා යන්නේ කවරෙක්ද? ඔවුනට සියලු උත්සව තහනම් ය. නමුදු හෝලි උත්සවයට අවතීර්ණ වීම සඳහා වසර කිහිපයකට පෙර ඉන්දියානු සමාජය ඔවුනට අවසර දී තිබේ. භජන් නැමති සංස්කෘතික උත්සවවලදී යම් මිලකට භජන් ගී ගැයීම සඳහා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුනට අවසර දී ඇත. ඒ ඔවුන්ට ඡිවත්වීම ට යම් මුදලක් සොයාගනු පිණිස ය. මෙයට මුහුණදෙන්නේ හින්දුන් වුව ස්වාමියා මිය ගිය ධනපති ගැහැනිය නොවෙි. ස්වාමියා මිය ගිය නිර්ධන පන්තියේ හින්දු ගැහැනිය යි. මෙහි ඇති ඛේදවාචකය එය යි.
සඳරැසී සුදුසිංහ විසින් රචිත කවියකින් මෙම සටහන නිමා කරමි.
දූවිලි ලෙස ට පෑගි පිටුපා හඬන
ජීවිත කතා නොඅසම කටුගා දමන
ආදර සිහින එක මිටකට ගුලිකරන
සීතල මතක චිතකය මැරි මැරි දැවෙන
✍️ උපාලි ජයසිංහ✍️