Home » සිවුදින ක්‍රිකට් තරගාවලිය ජාතික පිලේ ක්‍රීඩකයන්ට අනිවාර්ය කරයි
නැෂනල් සුපර් ලීග්

සිවුදින ක්‍රිකට් තරගාවලිය ජාතික පිලේ ක්‍රීඩකයන්ට අනිවාර්ය කරයි

-ක්‍රීඩා කිරීම මඟහැරියොත් කොන්ත්‍රාත් ගිවිසුම් අහෝසියි

by sachintha
March 5, 2025 4:30 pm 0 comment

දේශීය ක්‍රිකට් තරග බිමට නව මුහුණුවරක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින ක්‍රිකට් තරගාවලිය මේ 13 වැනිදා ආරම්භවන අතර, රතු පන්දුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝජනය කරන සියලු ක්‍රීඩකයන්ට මේ තරගාවලිය අනිවාර්ය කර තිබේ. මේ තුළින් උසස් තත්ත්වයේ සිවුදින ක්‍රිකට් තරගාවලියක් මෙවර අපේක්ෂා කෙරේ. නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන සෑම වසරකදීම බොහෝවිට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලට විදෙස් තරගාවලි පැවති හෙයින් මෙරට ප්‍රමුඛතම ක්‍රීඩකයන්ට දේශීය තරගාවලිය අහිමිවී ගියේය.

එබැවින් සියලු ක්‍රීඩකයන්ට මේ තරගාවලිය අනිවාර්ය බවත්, ආබාධයක් වැනි සාධාරණ හේතුවක් නැතිව ක්‍රීඩා නොකිරීම විනය විරෝධී ක්‍රියාවක් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටු සභාපති සමන්ත දොඩංවෙල මහතා පැවසීය.

යම් හෙයකින් නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම මඟහැරී සිටියහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇති කොන්ත්‍රාත් ගිවිසුම් අහෝසිවී යනු ඇති බව ඒ මහතා අනතුරු ඇඟවීම් කළේය.

මෙරට පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන මුල් පෙළේ ක්‍රීඩකයෝ 100කට වැඩි පිරිසක් මේ තරගාවලියට එක්වන අතර, ක්‍රීඩකයෝ 20 බැගින් කොළඹ, ගාල්ල, මහනුවර, දඹුල්ල හා යාපනය යන කණ්ඩායම් 5ක් යටතේ ක්‍රීඩා කරති.

පසුගිය වසරේ පැවති තරගාවලියේදී රමේෂ් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම ශූරතාව දිනාගත් අතර, ලසිත් ඇඹුල්දෙණිය මෙහෙයවූ මහනුවර පිල අනුශූරතාව දිනා ගත්තේය.

මෙරට ප්‍රධානතම දේශීය සිවුදින ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන මේ තරගාවලියට මූලික වටයේ තරග 10ක් ඇතුළත් වන අතර, එම වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

තරගාවලිය ආරම්භ කරමින් මේ මස 13 සිට 16 දක්වා ගාල්ල – මහනුවර අතර හම්බන්තොටදී හා යාපනය – කොළඹ අතර, ගාල්ලේදී තරග පැවැත්වේ. අප්‍රේල් මස 27 වැනිදා අවසන් මහා තරගය එස්එස්සී පිටියේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මූලික වටයේ තරග හම්බන්තොට, පල්ලෙකැලේ, දඹුල්ල සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT