කෘෂිකර්මය හා වාරිමාර්ගයට අදාළ නිලධාරීන් විසින් ගනු ලබන අවිධිමත් තීන්දු තීරණ නිසා මාතර, තලල්ලේ කුඹුරු යායේ වැඩි කොටසක් පුරන්ව ඇති බවට එම ප්‍රදේශයේ පාරම්පරික ගොවීහු චෝදනා කරති. ඉතිහාසයේ මුළු යායේම අක්කර 160කට වැඩියෙන් තිබුණු බවත්, එදා ඒ සියල්ල සශ්‍රීකව වගා කළ ද අද වනවිට අක්කර 120ක් පමණ සම්පූර්ණයෙන්ම පුරන් වී ඇති බවත් එම ගොවීහු පවසති.
තලල්ල යායේ වැඩි කොටසක් පුරන් වීමට බලපා ඇති ප්‍රධානතම හේතු ලෙස ගොවීන් පෙන්වා දෙන්නේ, ඇල්ල කන්ද ජලාශයෙන් හා කැකනදුර බුබුළෙන් එන ජලය අවශ්‍ය පරිදි කුඹුරට ලබාගෙන වැඩි ජලය බැහැර කිරීමේ ඇළ මාර්ග අවහිරවීම, ඉවුරු කැඩී බිඳී යාම, ජල ගේට්ටු දිරාපත්ව තිබීම ආදියයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගොවි මහතකු වන ජයසිරි සුදුසිංහ මහතා (65) මෙසේ කීවේය.
“වයස අවුරුදු 18 සිට මම කුඹුරු වැඩ කරනවා. ඉස්සර ඉතා හොඳට වගා කළ තුන්මෝදර කුඹුරු සියල්ල අද වන විට පුරන් වෙලා. කුඹුරු ගොඩ වෙලා. වතුර රැඳෙන නිසා අඩි තුනක් විතර එරෙනවා. බලධාරීන් මෙම ප්‍රශ්නය හොයන්නේ නැහැ. ගොවි බසට කන් දීලා කන්න රැස්වීම් තියලා හරි දේ කරනවා නම් මෙහෙම වෙන්නේ නැහැ. තාක්ෂණික නිලධාරීන් එයාලා ඉගෙන ගත් දේ අනුව ඔහේ වැඩ කරනවා. ගොවීන්ටවත් කුඹුරු යායටවත් කිසිම ප්‍රයෝජනයක් නැහැ. රජයේ සල්ලි ටික අපරාදෙ කවුරුහරි ගන්නවා. ඕකයි හැමදාම සිදු වුණේ. යාය හැමදාම පුරන්. මේක මහා අපරාධයක්.”
ගොවීන් නඟන මෙම චෝදනා සහ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව තලල්ල දකුණ හා තලල්ල මධ්‍යම වසම් භාර කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර ගයනි ලොකුගම්හේවා මහත්මිය මෙලෙස පැවසුවාය.
“මගේ පරිපාලන සීමාව තුළ කුඹුරු යායේ සියලු කටයුතු සිදු කරන්නේ තාක්ෂණ නිලධාරියකු ගෙන්වා උපදෙස් ලබාගෙනයි. එක තැනක ඇළ කණ්ඩිය කැඩිලා වතුර ගලන එක සත්‍යයක්. ඉන් යාය මැදට වතුර එනවා. මේ සඳහා පිළියම් යෙදිය යුතුයි. ගොවීන් කියනා පරිදි අවිධිමත් ක්‍රියාකාරකම් කිසිවක් අපි සිදුකර නැහැ. අපි අනවශ්‍ය ප්‍රතිලාභ ලබාගෙනත් නැහැ. මම මේ ප්‍රදේශයේ වැඩ භාරගන්නා විට ගොවි සංවිධාන අක්‍රිය වෙලා තිබුණේ. ඒවා ගොඩනඟන්න ගොඩක් මහන්සි වෙන්න සිදුවුණා. එකක් ගොඩනඟන්න අවස්ථා තුන හතරක් රැස් වෙන්න සිදු වුණා. අපි එහෙම වැඩ කරද්දී ගොවීන් අපිට චෝදනා කිරීම ගැන ඇත්තේ කනගාටුවක්.”
ගන්දර සමූහ – ජයසිරි පේදුරුආරච්චි