Home » කළුතර පාසලකට දුන් කෑම වේලේ මාළුවල පණුවෝ

කළුතර පාසලකට දුන් කෑම වේලේ මාළුවල පණුවෝ

ඇතැම් දරුවන් මාළු නැතිව කෑම කාලා

by sachintha
March 5, 2025 4:31 pm 0 comment

සැපයුම්කාරියගේ සේවය අත්හිටුවයි

කෑම සපයන ස්ථාන කිහිපයක්ම හදිසි නිරීක්ෂණයකට

 

කළුතර නගර මධ්‍යයේ පිහිටි මිශ්‍ර පාසලක දරුවන්ට උදේ ආහාරය සඳහා ලබා දුන් බත් පාර්සලයේ මාළුවල පණුවන් සිටි බවට ලද තොරතුරකට අනුව කළුතර සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මවුපියන් සඳහන් කළේ, දරුවන් පෙරේදා (3) දිවා ආහාරය ලබා ගැනීමට සූදානම් වීමේදී එක් දරුවකු මාළු කැබැල්ලේ පණුවන් දැක ආහාර බෙදා දීම සඳහා නම් කර සිටි මවකට ඒ පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව, වහාම ඒ සම්බන්ධයෙන් පන්ති භාර ගුරුතුමියත්, විදුහල්පතිවරයාත් දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබූ බවයි. විදුහල්පතිවරයා ක්ෂණිකව සැපයුම්කරු දැනුම්වත් කර සැමන් ව්‍යාංජනයක් පිළියෙල කොට දරුවන්ට ලබා දී ඇතත් ඇතැම් දරුවන් ඒ අනුව මාළු කැබැල්ල බත් පාර්සල්වලින් ඉවත් කර එහි තිබූ පරිප්පු සහ කොළ මැල්ලුම සමඟ බත් ආහාරයට ගෙන ඇති බවද මවුපියෝ කියා සිටියහ.

මෙම වැඩසටහන යටතේ ලබා දෙන ආහාර ඇතැම් දරුවන් කෑම පෙට්ටියේ දමා නිවෙස්වලට ගෙන යන බවත්, කළුතර නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ලහිරු සඳරුවන් මහතාට මේ පිළිබඳව පැමිණිලි කරනු ලැබ ඇත්තේ එසේ නිවෙසට ආහාර රැගෙන ගිය දරුවකුගේ මවුපියන් විසින් බවත් අනාවරණය වී තිබේ.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (4) ආහාර සැපයුම්කාරියගෙන් හා විදුහලේ ගුරු මහත්මීන්ගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. ඒ අනුව, ආහාර සැපයුම්කාරියගේ ආහාර සැපයුම් අත්හිටුවා ඇය බැඳුම්කරයක් මත මුදා හැර ඇති අතර, අද (5) ඇය කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පිළිබඳ විමසීමේදී කළුතර උසස් අධ්‍යාපන බලධාරියෙක් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙතින් මෙන්ම කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.

මේ අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ආහාර වැඩසටහන යටතේ පාසල්වලට ආහාර සපයන කළුතර ප්‍රදේශයේ ස්ථාන රැසක් ඊයේ (4) අලුයම 4.00ට පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හදිසි පරීක්ෂාවට ලක් විය. මේ යටතේ පරීක්ෂාවට ලක් කෙරුණේ ගල්ලස්ස කනිෂ්ඨ විද්‍යාලය, නාගොඩ මහා විද්‍යාලය සහ කටුකුරුන්ද බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයට දිවා ආහාර සපයන ස්ථාන පහකි. මෙහිදී ආහාර සකසන ස්ථානවල පිරිසුදුකම, ඒවා බහාලන භාජනවල පිරිසුදුකම, ආහාර පිසීම සඳහා භාවිත කරන ජලය මෙන්ම ආහාර සකස් කරන අයගේ හිස, නියපොතු හා ඇඳුම් ඇතුළු පෞද්ගලික ස්වස්ථතාව පිළිබඳව ද සැලකිල්ලට ගෙන තිබේ.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඩී.සී.රෝහණ මහතා සඳහන් කළේ, එසේ පරීක්ෂාවට ලක් කෙරුණු ස්ථානවල තත්ත්වය සාධනීය මට්ටමක තිබූ බවයි. එම තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට උපදෙස් දුන් බවද හෙතෙම කියා සිටියේය.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඩී.සී. රෝහණ, නාගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක ගිහාන් මාලිංග ප්‍රනාන්දු, මහ වස්කඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනුෂ්ක විරාජ් හා කටුකුරුන්ද 2, මහජන සෞඛ්‍ය පරීක්ෂක එරංග ගුණරත්න යන මහත්වරු මෙම හදිසි පරීක්ෂාවට එක්ව සිටියහ.

පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක, කළුතර මධ්‍යම – සමූහ සුනිල් ස්ටැන්ලි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT