ගාල්ල උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයේ වැඩ සිටින ඉන්දියාවේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛා බෝධින් වහන්සේ හෙවත් උඩුගම, ශ්‍රී මහා බෝ සමිඳුන් පිදෙන ශ්‍රී මහා බෝධිරාජ පෙරහැර 13 රාත්‍රි වීදි සංචාරය කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
‘වසර 200කට අධික ඉතිහාසයකට ගාල්ල උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරය උරුමකම් කියයි. අපවත්වී වදාළ පනංගල ශ්‍රී දේවරක්ඛිත හිමියන් ආරම්භ කර තිබෙන මේ විහාරයේ ධර්ම දාන මෙහෙවරට නෙළුවේ ශ්‍රී ගුණානන්ද හිමියන් බෞද්ධ දර්ශනයේ ප්‍රබෝධයට ඉමහත් දායකත්වයක් දැක්වූහ. භාෂා ශාස්ත්‍ර, ත්‍රිපිටකය පරතෙරට හැදෑරූ උන්වහන්සේ හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක, වැලිවිටියේ ශ්‍රී සෝරත හිමිවරුන් සමඟ සමකාලීනව ධර්ම දානය පිණිස කටයුතු කළහ. ලෝක බෞද්ධ සාම මහා සංඝ සම්මේලනයේ සභාපති වශයෙන් ලෝක ප්‍රකට ගුණානන්ද හිමියන් ‘ආනන්ද ධර්ම කීර්ති ශ්‍රී’ ගෞරව නාම සම්මුතිය සහිතව ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය ද දැරූහ. මේ විහාරයට පැවැති අඩුපාඩුවක් වූ බෝධින් වහන්සේ නමක් රෝපණයට කල්පනා කළ එහිමියෝ බුද්ධගයාවේ වැඩ සිටින ගෞතම බෝධි අංකුරයක්ම මේ විහාරයේ රෝපණය කිරීම පිණිස අපමණ වෙහෙසක් දැරූහ. එවකට ඉන්දීය මහාබෝධි සමාගමේ ප්‍රධාන සභාපතිත්වය නෙළුවේ ශ්‍රී ගුණානන්ද නාහිමියෝ දැරූහ. එහිමියන් එවකට ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිනියට දැන්වීමෙන් පසුව එතුමියගේ සහයෝගය ඇතිව 1976 වර්ෂයේදී රාජ්‍ය ගෞරව සහිතව මෙරටට වඩමවා ගත හැකි වූ, උඩුගම ශ්‍රී මහා බෝධින් වහන්සේ මෙරට රෝපණය කළහ. ඉනික්බිතිව 1977 වර්ෂයේදී මේ ශ්‍රී මහා බෝධිරාජ පෙරහැර ආරම්භ කර තිබේ. අනතුරුව හිනිදුම් පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී, පූජ්‍ය උඩුගම සමිත නායක හිමියන් මේ පෙරහැර පවත්වාගෙන එන ලදී. උන්වහන්සේගෙන් පසුව උඩුගම සාරානන්ද ස්වාමින් වහන්සේට පෙරහැර වගකීම් පැවරිණ. අලි ඇතුන් සහිත මෙරට අතිශය දර්ශනීය සුවිශාල පෙරහැරක් වශයෙන් ඒ අනුව මේ පෙරහැර මංගල්‍ය අඛණ්ඩව පවත්වාගෙන එයි. එළැඹෙන 13දා රාත්‍රි වීදි සංචාරය කරනුයේ මෙවර පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැරයි. එදින සුවිශේෂ පූජාවෙන් හා කෙටි දහම් දෙසුමෙන් පසුව මංගල හස්තිරාජයා මත වන සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් පසුව පෙරහැර කටයුතු ආරම්භ කිරීමට නියමිතය.’
මෝහාන් නන්දන
නානායක්කාර