Wednesday, April 23, 2025
Home » සංවර්ධන සැලසුම්වලදී ජනතා ගැටලු ගැන අවධානය යොමු කරන්න

සංවර්ධන සැලසුම්වලදී ජනතා ගැටලු ගැන අවධානය යොමු කරන්න

-නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර

by sachintha
March 5, 2025 4:13 pm 0 comment

2025 වර්ෂයට අදාළ කොලොන්නාව සංවර්ධන සැලසුම අප්‍රේල් මාසය අවසන් වීමට ප්‍රථම දීමට කටයුතු කරන ලෙසත්, සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ජනතාවට ඇති විය හැකි ගැටලු පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර මහතා පැවැසීය.

නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ කොලොන්නාව සම්බන්ධීකරණ කමිටු රැස්වීම පෙරේදා (03) කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදී එහි සම්බන්ධීකරණ කමිටු සභාපති ලෙස අදහස් දක්වමිනි.

මෙහිදී 2025 වර්ෂයට අදාළ සංවර්ධන වැඩසටහන් සැලසුම පිළිබඳව සාකච්ඡා කළ අතර, විමධ්‍යගත අය-වැයෙන් කොළොන්නාව පළාත් පාලන ආයතනවලට වෙන් කර ඇති මුදලට අදාළව සංවර්ධන වැඩසටහන් සැලසුම අප්‍රේල් මාසය ඇතුළත අවසන් කිරීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. තවද නාගරික සංවර්ධන අධිකාරියෙන් 2025 – 2035 වසර දක්වා යෝජිත කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව නගර සැලසුම් පිළිබඳවත්, කොළොන්නාව සංවර්ධන සැලසුම් පිළිබඳවත්, ප්‍රදේශයේ පවතින අනෙකුත් ගැටලු පිළිබඳවත් සාකච්ඡා කෙරිණි.

ප්‍රදේශයේ පවතින සෞඛ්‍ය ගැටලු පිළිබඳවත්, ඉදිරියේදී වර්ෂාවත් සමඟ ඇති විය හැකි සෞඛ්‍ය අවදානම සහ එම අවදානම වළක්වා ගැනීමට සිදු කළ හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරන ලදි. කොළොන්නාව තුළ පවතින මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සහ දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත්, මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ තරුණයන් එයින් මුදාගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් නියෝජ්‍ය ඇමැතිවරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් සමඟ සාකච්ඡා කරන ලදි.

මලිඳු තෙන්නකෝන් සහ මැද කොළම සමූහ – ආරියරත්න ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT