මැදින් පුර පසළොස්වක දිනය බෞද්ධ ඉතිහාසයේ ඉතාම වැදගත් සිදුවීම් මාලාවකට මුල පිරුම ආරම්භ වූ පොහොය දිනයකි. ගෞතම බුදුරජාණන් වහන්සේ විසි දහසක් පමණ වූ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන ස්වකීය උපන්බිම වූ කිඹුල්වත්පුර නුවරට වැඩම කරවීම සඳහා ගමනාරම්භ කළේ මැදින් පුර පසළොස්වකදාය.
වෙසක් පොහෝ දිනයෙහි කිඹුල්වත් පුරයට සම්ප්‍රාප්තවීමේ අරමුණින් මැදින් පෝදා ආරම්භ කළ මේ ගමන නිසා සිදු වූ අනුස්මරණීය සිද්ධීන් ගණනාවක්ම තිබේ. ඒ අතර ඥාතින්ගේ මානය බිඳ හෙළීම, යමාමහ පෙළහර පැවැත්වීම, යශෝදරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීම, ප්‍රථම වතාවට කාන්තාවන් බුදු සසුනේ පැවිදිවීමට අවසර ඉල්ලීම හා සුද්ධෝදන මහරජු මාර්ගඵල ලැබීම යනාදිය එයින් ප්‍රමුඛත්වය ගනි.
මේ අනුව බුදුරදුන් ස්වකීය ඥාති වර්ගයා වෙනුවෙන් ධර්ම දායාදය පිරිනැමීමේ අරමුණින් යුතුව ඓතිහාසික ගමනක් අරැඹූ මංගල දිනයක් ලෙස මැදින් පොහෝ දිනය නම් කළ හැකිය. ඥාති වර්ගයාට පමණක් නොව රජගහ නුවර සිට කිඹුල්වත්පුර නුවර දක්වා වූ සැට යොදුනක් මග දෙපසට අයත් ගම් දනව්වල ජනතාවට ද ධර්ම දායාදය පිරිනැමීමේ ආරම්භක පියවරද එයම විය.
අනුශාසනාව-ඌරුගමුවේ අස්සජි හිමි
සටහන-ඉරෝෂා දීපානි