Tuesday, April 22, 2025
Home » නොඉවසීමෙන් සියලු ප්‍රතිලාභ අහිමි වෙනවා

නොඉවසීමෙන් සියලු ප්‍රතිලාභ අහිමි වෙනවා

-ඇතිමලේ පඤ්ඤාසාර හිමි

by sachintha
March 5, 2025 4:17 pm 0 comment

ඉවසීමෙන් සියලු සත්ත්වයන්ට බොහෝ ප්‍රතිලාභ අත්පත් කර ගත හැකියි. ඒ අනුව මෛත්‍රියෙන් හැසිරීමෙන් මෛත්‍රියම ලොවට පැතිරෙනවා වගේම, ප්‍රසන්න මෙන්ම අප්‍රසන්න අත්දැකීම්වලට මුහුණ දෙන අවස්ථාවන්වලදී එම කරුණු දෙක කෙරෙහිම මැදහත්ව, සමබර මනසක් පවත්වා ගැනීමට හැකි වේ. මෙවැනි ඉවසීම සම්බන්ධ කරුණු කාරණා පිළිබඳ පාඨශාලා ආචාර්ය, රාජකීය පණ්ඩිත, ඇතිමලේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ සමඟ සිදු කළ සාකච්ඡාවයි මේ.

 

ඉවසීම කියන කාරණාව කෙසේ හඳුන්වා දිය හැකිද?

ඉවසීම කියල කියන්නේ ජීවිතයේ ප්‍රයෝජනවත්ම ඉතාම වටිනා ගුණධර්මයක්. අපට එන අභියෝග, චෝදනා, දුක්, වේදනා, රෝග, පීඩා, අවාසි, අපහසුතා හමුවේ වෛරය, කෝපය, පිළිකුල ආදියෙන් තොරව සන්සුන්ව හා සමබරව සිතීමට උපකාරී වන මානසික ශක්තියක්, ගුණාංගයක්. ඉවසීම ක්ෂාන්තිය ලෙස ද බුදු දහමේ හඳුන්වනවා. ඒ වගේම බාධා හමුවේ තම හැකියාවන් වර්ධනය කරගෙන බුද්ධිමත්ව කටයුතු කිරීමට හැකියාවක් ලබාදෙන ඉතා විශිෂ්ට ගුණාංගයක්. මෙය බුදු දහමට අනුව බැලුවොත් බෝසතාණන් වහන්සේලා පිළිවෙතක් විදිහට සම්පූර්ණ කරන දෙයක්. ඒ වගේම සාමාන්‍ය ජීවිතයේ වුවත් පුද්ගලයෙකු මෙය පිළිවෙතක් විදිහට සම්පූර්ණ කරන්න ඕනෑ. එහෙම නැති වුණොත් තමන්ට හානිකර වන්නත් පුළුවන් වගේම මෙලොව වශ‍යෙන් මෙන්ම පරලොව වශයෙන් ද විනාශය කරාම ළඟා විය හැකියි.

ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියනදේ බුදු දහමට අනුව පැහැදිලි කර දෙන්න?

උතුම් වූ බුදු දහමෙන් පෙන්වා දෙන ආකාරයට අපගේ මේ සියලු දුක් වේදනාවලට මූලාශ්‍රය අපගේ මනසයි. අපි අභියෝගවලට නොඉවසිල්ලෙන් කෝපයෙන් කලකිරීමෙන් ප්‍රතිචාර දක්වන විට අපි අපේ මනස තුළම මානසික කැලඹීම් නිරවුල්භාවයන් දුක් වේදනා ඇති කරගන්නවා. ඒ නිසා අපේ මනස තුළ තිබෙන සැනසිලිදායක ස්වභාවය නැතිවී යනවා. ඒත් අපි යම් තත්ත්වයක යථා ස්වභාවය තේරුම් ගෙන සන්සුන්ව සිටීම තුළින් අප තුළ ප්‍රඥාව, අවබෝධය මනාව වැඩිදියුණු වෙනවා.

ඒ වගේම ඒ තුළින් ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වීම අවම වීමෙන් සිතෙහි සැනසිලිදායක බව හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ, මානසික සන්සුන්භාවය සහ උත්සාහය කෙරෙහි වැදගත්කම අවධාරණය කළා සේම ඒ දෙකම ඉවසීම කියන ගුණාංගය මත පදනම් වෙලා තියෙන බවද උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම බුදු දහමට අනුව ඉවසීමේ ගුණය නිසා සැනසීම උදාකර දෙන බවත් කියන්න පුළුවන්. ඒ වගේම නුවණ නැති පුද්ගලයා ඉවසිය යුතු අවස්ථාවන්වල කලබලකාරී වනවා. ඒකෙන් අපකීර්තියට ලක් වෙනවා. ඒ Òකළුවර වී යන සඳක් වගේÓ ඒත් නුවණ සහිත පුද්ගලයා ඉවසිය යුතු අවස්ථාවන්වල ඉවසනවා. ඒ තැනැත්තා නුවණින් විමසා කටයුතු කිරීමෙන් සැපයට පත්වෙනවා. ඔහුගේ දියුණුව වැඩෙන්නේ “පිරීගෙන යන සඳක් වගේ”.

ඉවසීම සහිත පුද්ගලයකු සතු ගුණාංග මොනවාද ?

මෙතැනදී බෞද්ධ ඉගැන්වීම්වලට අනුව ඉවසිලිවන්ත පුද්ගලයෙක් සතුව තියෙන ගුණාංග බොහොමයක් තියෙනවා. ඒවා අතුරින් මෛත්‍රිය එනම් මෙත් වැඩීම එකක් විදිහට ගන්න පුළුවන්. එතැනදී සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිසහගත හැසිරීම මඟින් මෛත්‍රිය පැතිරවීම සිදුකරන්න පුළුවන්.

ඒ වගේම උපේක්ෂාව ප්‍රසන්න වගේම අප්‍රසන්න අත්දැකීම්වලට මුහුණ දෙන අවස්ථාවන්වලදී ඒ දෙකටම මැදහත්ව, සමබරව මෙන්ම සාමකාමී මනසක් පවත්වා ගැනීම ඉවසීම සහිත පුද්ගලයකු සතුව තිබෙන ගුණාංගයක් විදිහට අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමා අතින් වරදක් වූ විට සමාව ගැනීම හා තව කෙනෙක් සිදුවූ විට එම වරදට සමාව දීම ද මෛත්‍රීසහගත පුද්ගලයින් සතුව තිබෙන ගුණාංගයක්. මෙම ගුණාංග වර්ධනය කිරීමෙන් සැබෑ ඉවසීම වර්ධනය කරගන්න පුළුවන් වගේම අපට වගේම සෙසු අයටත් සහනයක් යහපැවැත්මක් ඇති කර ගන්න පුළුවන්.

බුදු දහමට අනුව ඉවසීම වර්ධනය කරගන්නේ කොහොමද ?

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන සම්මා සතිය හෙවත් නිවැරදි සිහිය කියන එක අපි නිතරම පුරුදු පුහුණු කරගන්න ඕනෑ. ඕනෑම අයෙකුට තම එදිනෙදා ජීවිතය තුළ කටයුතු කරන දෑ පිළිබඳ මනා අවබෝධයක් ලබාගෙන ගැටලු පැන නඟින අවස්ථාවන් හඳුනාගෙන ඒ අවස්ථාවන්වල තමා කරන කියන සිතන දේ සිහියෙන් යුතුව කටයුතු කර ඉවසීමෙන් එම අවස්ථා ජයගන්න පුළුවන්.

අපි ලොකු කුඩා ඕනෑම කෙනෙකුට පුරුදු පුහුණු කරන්න පුළුවන් එක් ක්‍රමයක් තමයි මෛත්‍රිය වැඩීම, මෛත්‍රිය පැතිරවීම අප ඇතුළු සියලු සත්ත්වයන් කෙරෙහි ප්‍රේමය කරුණාව වර්ධනය කිරීම මඟින් කෝපය හා වෛරය මෘදු කරවීම තුළින් ඉවසීම වර්ධනය කරගන්න පුළුවන්. ධර්මය හැදෑරීම ඉගෙනීම තුළින් ඒ කියන්නේ ඉවසීම ප්‍රතිලාභ සහ නොඉවසිල්ලේ අවාසි ගැන ඉගෙන ගැනීමෙන් ද මෙම ගුණාංගය වර්ධනය කරගන්න පුළුවන්. එතැනදි ඉවසීමේ ප්‍රතිලාභ විදිහට, තමා තුළ වැරදි අඩුවෙනවා. බොහෝ ජනයාට ප්‍රියමනාප වෙනවා. වෛරය බහුල නොවේ. පසුතැවීම් නැහැ. සිහි මුලා නොවී මරණයට පත්වන අතරම මරණයෙන් මතු සුගතියක උප්පත්තිය ලබනවා. නොඉවසුවොත් මේ සියලු ප්‍රතිලාභ අහිමි වෙනවා.

නිසංසලා කොට්ටගස්වත්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT