1993 වර්ෂයේ දී මිහින්තලය ආශ්‍රිතව පැවති ගම් උදාව වැඩසටහනට සමගාමිව අරඹා ඇති ඉසුරු උයන කාර්මික ජනපදය වල්වැදී විනාශ වීමේ අවදානමට ලක්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මිහින්තලය විශ්වවිද්‍යාලයට සහ දුම්රිය ස්ථානයට යාබදව පිහිටි ඉසුරු උයන ගම්මානය, අංක 586 මරදන්කුලම ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් වන්නක් බව ගැමියෝ පවසති. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මඟපෙන්වීම සහිතව විවිධ කර්මාන්ත ඇරඹීම සඳහා එවක තෝරාගත් ප්‍රතිලාභීන්ට මෙහි ඉඩම් සහ නිවාස ලබාදීම සිදුකොට ඇත. මෙසේ තෝරාගත් සමහරෙකු නිසි සුදුස්සන් නොවීම හේතුවෙන් අද වන විට මෙ ජනපදයේ බොහෝමයක් ගොඩනැඟිලි වල්වැදී විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
එවක ප්‍රතිලාභීන් හතළිස්දෙනකුට පමණ මෙසේ නිවාස සහිත ඉඩම් ලබා දී ඇතත්, වර්තමානය වන විට පවුල් දහයක් පමණක් මෙහි පදිංචිව සිටින බව ගැමියෝ පවසති. කිසිදු කර්මාන්තයක නොයෙදෙන දේශපාලනික හිතෛෂිවන්තයන් මුල්කාලීනව ප්‍රතිලාභීන් ලෙස තෝරාගැනීම මෙම විනාශයට හේතුවී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. ඉසුරු උයන ආශ්‍රිතව කුඩා කර්මාන්තයක නියැළෙන “ගාමිණි රත්නපාල” මහතා සිදු කළේ මෙවැනි හෙළිදරව්වකි.
“මේ කර්මාන්තපුරය පටන්ගත්ත මුල් කාලෙවත් පවුල් හතළිහක් මේ ගෙවල්වල පදිංචි වෙලා ඉඳලා නෑ. මෙහේ ගෙවල් දීලා තිබුණ සමහර මිනිස්සු හොඳ රස්සා කරන, වෙන තැන්වල ගෙවල් තියෙන මිනිස්සු. ඒ අය කර්මාන්ත කරන අය නෙවෙයි. දැන් අපි කිහිපදෙනෙක් විතරයි මෙතැන පොඩි පොඩි ව්‍යාපාර කරන්නේ. තවත් කිහිපදෙනක් නිකන් පදිංචි වෙලා ඉන්නවා. අනිත් ඉඩම්වලට අයිතිකාරයෝ හිටියට ඒ ගොල්ලෝ මෙතැන ව්‍යාපාර කරන්නෙත් නෑ. පදිංචි වෙලත් නෑ. ඒ ඉඩම් කැලෑ වැහිලා තියෙන්නේ. අපි කාර්මික සංවර්ධන මණ්ඩලේට අවුරුදු පතා බදු ගෙවනවා. අපිට දීලා තියෙන්නේ පර්චස් විස්සේ ඉඩම් කෑලි.”
රූස්ස ගස් වැවී, දුර්වර්ණව විනාශ වෙමින් ඇති හුදකලා නිවාස සාමාකාමි ජන ජීවිතයට මහත් තර්ජනයක් වී ඇති බව ද ගැමියෝ පවසති. විවිධ අපචාරි ක්‍රියාවන්වල නිරතවන්නන්ට මෙම පසුබිම මහත් රුකුලක් විය හැකි බවට ද ඔවුහු සැක පහළ කරති. වසර තිහකට වැඩි කාලයක් පදිංචිව සිටිය ද මෙහි ඉඩම් ඔප්පු නිරවුල් වී නැති බවද ගැමියෝ පවසති. ගම්මානයේ ප්‍රවේශ මාර්ගය මෙන්ම අතුරු මාර්ග සියල්ලක්ම පාහේ වළ ගොඩැලි ඇතිවී ගල්, මුල් මතුවී දෙපයින් හෝ යා නොහැකි තරමින් අබලන්ව ඇති බව ගැමියෝ පවසති. ඉසුරු උයන කාර්මික ජනපදය රැකදෙන ලෙස ඔවුහු වගකිව යුත්තන්ගෙන් ඉල්ලමක් කරති. ගම්වාසී “වයි. අනුලාවතී” මහත්මිය පැවසූයේ මෙවැන්නකි.
“ඇත්තටම ගෙයක් ඕන අසරණ මිනිස්සු හොයලා එහෙම අයට මේ නිකරුණේ වල් වැදිලා තියෙන ගෙවල් දෙන්න කියලා අපි කියන්නේ. තව තැන්වල හොඳ ඉඩම්, ගෙවල් තියෙන මිනිස්සුන්ට ගෙවල් දුන්නාම ඒ මිනිස්සු දුක් විඳගෙන මේ තැන්වල ඉන්නැති එකේ පුදුමයක් නෑනේ. ඉඩමක්, ගෙයක් නැති මොනතරම් මිනිස්සු මේ පළාතේ ඉන්නවද. එහෙම මිනිස්සුන්ට මේ නිකරුණේ විනාශ වෙලා යන ගෙවල් දුන්නොත් ඒකම ලොකු පිනක්නේ. අපි නං මුල්කාලේ ඉඳන් මෙතැන පදිංචි වෙලා ඉන්නවා. මහත්තයට අසනීප වෙලා ඉන්න හින්දා මොකුත් කර්මාන්තයක් කරන්න විදිහක් නෑ.”
අප මේ පිළිබඳව කාර්මික සංවර්ධන මණ්ඩලයේ දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් ලියනගම මහතා වෙතින් විමසීමක් කළෙමු. එවිට ඒ මහතා පැවසුවේ මෙහි කර්මාන්ත සිදු කරන ප්‍රතිලාභීන් අටදෙනෙකු කාර්මික සංවර්ධන මණ්ඩලයට බදු ගෙවමින් සිය ව්‍යාපාර පවත්වාගෙන යන බවයි.
ඩබ්ලිව්. ප්‍රදීප්
තඹුත්තේගම