Home » තිරසර හෙටකට ඇය!
කවරයට වැඩි යමක්...

තිරසර හෙටකට ඇය!

by Gayan Abeykoon
March 5, 2025 4:41 am 0 comment

ජාත්‍යන්තර කාන්තා දිනය එළඹීමට ඇත්තේ තවත් දින දෙකක් පමණි.

මාර්තු 08 දිනට යෙදෙන ජත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව රජය විසින් “ජාතික කාන්තා සතිය” ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මඟක් ” යන්න ප්‍රධාන තේමාව කර ගනිමින් 2025 මාර්තු 02 සිට 08 දක්වා පැවැත්වෙන  “ජාතික කාන්තා සතිය ” තුළ ජාතික, පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වනු ඇත.

අපි ලොවට පළමු අග්‍රාමාත්‍යවරියද, පළමු විධායක ජනාධිපතිවරියද බිහි කළ රට ලෙස ආඩම්බර වන අතරම කාන්තාවන්ට එරෙහිව ක්‍රියාත්මක වන හිංසනය හා අකටයුතුකම් ගැන කනගාටුවට පත්වෙමු.

විදෙස් ආධාර හා අනුග්‍රහයන් යටතේ කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන්වල සිට මහජන නියෝජිතයින් ලෙස කාන්තා නියෝජනය වැඩි කිරීමේ ඉල්ලීම් හරහා  විවිධ උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර දක්වාම විටින් විට යම් යම් හුදකලා වෙර වෑයම් දක්නට ලැබෙන බවද සැබෑ ය.

වත්මන්හි පවතින්නේ ලක් ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුවකි.

එහෙත් අප නැවත නැවතත් අප දෙසම හැරී බැලිය යුතු ය.

බිම් මට්ටමේ සැබෑ කාන්තා ගැටලුද, තැන තැන සිදුකෙරෙන වැඩසටහන්ද, ප්‍රතිපත්තිමය කරුණු කාරණාවන්ද අතර පවතින්නේ කෙබඳු සහසම්බන්ධයක්ද යන්න කෙරෙහි අවධානය යොමු කළ යුතුම ය.

දැවැන්ත න්‍යායික සංවාද අහසේ සිට පොළොවට බසින විට දෙපයින් සිටගෙන සිටින කතුන් ඇය දෙස බැලීමේ අලුත් ඇසක් අප නිර්මාණය කර ගත යුතු ය.

ආර්ථික සංවර්ධනයෙහිලා ඇය ගේ දායකත්වය අගය කිරීමට වසරකට වරක් එක් දිනක් හෝ සතියක් නම්කර ගැනීමෙන් ඔබ්බට වැඩපිළිවෙළක් තිබිය යුතු ය.

ඇය සමඟ ගමන් කළ හැකි අලුත් මාවතක් අප සොයා ගත යුතු ය. අභියෝගය ඇත්තේ එතැන ය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT