යුක්රේන යුද ගැටුමට සාමකාමී විසඳුමක් සෙවීම පිණිස අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්රමුඛ නියෝජිත පිරිස සහ යුක්රේන ජනාධිපති ව්ලදිමීර් ෂෙලෙන්ස්කි ප්රමුඛ නියෝජිත පිරිස අතර ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී සිදුවූ සංවාදය විවාදයක් වී හදිසි අවසානයකට ගිය අයුරු ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ලොවම දකින ලදී. එය ඊට පෙර දින එම ස්ථානයේ දීම ජනාධිපති ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් අතර සාකච්ඡාවට වඩා සෑම අතින්ම පාහේ වෙන්ස් වූවක් විය.
ජනාධිපති ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලයේ දී ජනාධිපති ෂෙලෙන්ස්කි සමඟ සිදුවූ පළමු හමුව ද මෙයයි.මාධ්‍ය ඉදිරිපිට සිදුවූ වැදගත් රාජ්‍ය තාන්ත්‍රික හමුවකට ජනාධිපති ෂෙලෙන්ස්කි පැමිණ සිටි ආකාරය පවා අවධානයට ලක්විය. මෙවැනි හමුවක ඇඳුම යනු සරල කාරණයක් නොවේ. තැනට සුදුසු ආකාරයට පෙනී නොසිටීම යනු අනෙක් පාර්ශ්වය කෙරෙහි මෙන්ම එම අවස්ථාව කෙරෙහි ගෞරවයක් නොතිබීම බව ද සංකේතවත් වෙයි. එසේ තිබියදී වුවද, සාමාන්‍යයෙන් දැඩි පුද්ගලයකු වන ජනාධිපති ට්‍රම්ප් සංයමයෙන් හා මනා රාජ්‍යතාන්ත්‍රික භාවයකින් යුතුව සාකච්ඡාවට පිවිස සිටි බව පෙනිණි. එය උණුසුම් අතට හැරුණේ, මේ ගැටලුවට සාමකාමී විසැඳුමක් සෙවීම සඳහා ෂෙලෙන්ස්කි තුළ වුවමනාවක් ඇතැයි නොපෙනීම හා ඒ වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රිකව ක්‍රියා නොකිරීම පිළිබඳවත්, අමෙරිකාවට ස්තුතිවන්ත නොවීම ගැනත් උප ජනාධිපති ජේ.ඩී .වැන්ස් පෙන්වාදීමත් සමඟ ය.
2022 ,යුද්ධය ආරම්භ වූ තැන් සිට තනිව ඊට මුහුණ දීමට තමන්ට සිදුවූ බව ෂෙලෙන්ස්කි පැවසීමත් සමඟ ඊට එරෙහි වූ ට්‍රම්ප්, මුල පටන්ම අමෙරිකාව, යුක්රේනයට ආධාර කළ අයුරු සිහිපත් කරමින් හිටපු ජනාධිපති ජෝ බයිඩන් ගේ පාලනය මේ යුද්ධය වෙනුවෙන් අමනෝඥ ලෙස අමෙරිකා ජනයාගේ බදු මුදල් ඇ.ඩොලර් බිලියන 350 ක් පමණ වැය කර ඇතැයි ද, ඒ වෙනුවෙන් ස්තුතිවන්ත විය යුතු ඇතැයිද පෙන්වා දුන්නේ ය. ෂෙලෙන්ස්කි බොහෝ විට කළේ, රුසියාව විවේචනය කිරීම හා පුටින් මත වරද පැටවීමයි.සාමය සඳහා වෑයමකදී එවැනි ප්‍රවේශයක් නුසුදුසු බව ඇතැම් විචාරකයන් පෙන්වා දුන් කාරණයකි. මාධ්‍ය ඉදිරිපිට එවැන්නකට ඉඩහැරීම මඟින් තෙවැනි පාර්ශවයක් ලෙස මැදිහත්වී අපහසුවට පත්වීමට අමෙරිකාව නොකැමති වනු ඇත. රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශය ගැන මේ සාකච්ඡාවේදී වරින්වර මතුකෙරුණේ ඒ නිසාද විය යුතුය. ෂෙලෙන්ස්කි ලවා පුටින්ට රිදවීම ට්‍රම්ප්ගේ අභිලාෂය නොවන විටෙක ෂෙලෙන්ස්කි එම පසුබිම නොතකා හැරිබව පෙනෙන්නට තිබිණි. යුක්රේන ජනාධිපති වරයා රාජ්‍යතාන්ත්‍රික විසඳුම් මඟකට සූදානම් බවක් නොපෙන්වීම අමෙරිකා ජනාධිපතිවරයාගේ නොමනාපයට හේතුවන්නට ඇත.”ඔබ සූදු කෙළින්නේ තුන්වැනි ලෝක යුද්ධයත් සමඟ” යැයි ජනාධිපති ට්‍රම්ප් දැඩි ස්වරයෙන් ෂෙලෙන්ස්කිට චෝදනා කළේ එබැවිනි.
යුද බිමේ ජීවිත විනාශ වෙද්දිත් සැබෑ සටන් විරාමයකට එළැඹීමට ඔවුන් තුළ උනන්දුවක් නොතිබීම ගැන ද මෙහිදී මතුකෙරුණි. මේ යුද්ධය ජයග්‍රහණය කිරීම යුක්රේනයට කළ නොහැක්කකි. අමෙරිකා යුධ ආධාර අහිමිවන තත්ත්වයක් යටතේ ෂෙලෙන්ස්කි පාලනය අර්බුදයට යාම නොවැළැක්විය හැකිවනු ඇත. ඒ අපහසුව හා කණස්සල්ල ඒ මොහොතේම යුක්රේන නියෝජිතයන් වෙතින් ද පිළිබිඹු විය. මෙය හුදෙක් යුක්රේනයේ සාමය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොව යුරෝපයේ ආරක්ෂාව පිළිබඳ කාරණයක් ද බව විචාරකයෝ පෙන්වා දෙති.
අමෙරිකාවේ සිට ආපසු පැමිණ ජනාධිපති ෂෙලෙන්ස්කි කීවේ ද තමන්ට යුද්ධය ජයගත නොහැකි වුවද පරාජයට පත්වීමටද නොහැකි බවයි. කෙසේ වුවද , ධවල මන්දිරයේදී අමෙරිකාවට ස්තුතිවන්ත නොවූ ෂෙලෙන්ස්කි , ආපසු පැමිණ මෙම සංචාරයට ආරාධනා කිරීම ගැන සහ ලබාදෙන සහයෝගය වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප්ට සහ අමෙරිකාවට ස්තුතිවන්ත වී තිබිණි. එසේම ඉදිරියටත් එකී සහයෝගය එලෙසින්ම ලැබෙනු ඇතැයි විශ්වාසය පළකර තිබිණි.අවසන් සාමයක් උදෙසා වැඩකරන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.
ට්‍රම්ප්-ෂෙලෙන්ස්කි හමුවෙන් පසු යුරෝපා රටවල් ගණනාවක්ම තමන් තවදුරටත් යුක්රේනය සමඟ සිටින බව ප්‍රකාශ කර තිබේ. ඒ අතර, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය ආදී රටවල් ගණනාවක් වෙති. යුක්රේන ජනාධිපතිවරයා ජනාධිපති ට්‍රම්ප් හමුවූ දාට පෙරදින ට්‍රම්ප් හමුවූ බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් ප්‍රකාශයක් කරමින්, තම රට දිගටම යුක්රේනයට සහාය දක්වන බව පවසා තිබිණි. මේ සියලු රටවලට යුක්රේන ජනාධිපති වරයා සමාජ මාධ්‍ය ඔස්සේ ස්තුතිවන්ත විය. වත්මන් යුද තත්ත්වයට මූලික හේතුවක් වූයේ ද යුක්රේනය බටහිරට නැඹුරුවීම බව සළකන විට එම රටවල සහාය තේරුම්ගත හැකිය. ට්‍රම්ප් ෂෙලෙන්ස්කි හමුව පිළිබඳ රුසියාවේ හිටපු ජනාධිපති රුසියානු ආරක්ෂක කවුන්සිලයේ උප සභාපති දිමිත්‍රි මෙද්වදෙව් ප්‍රකාශ කරන්නේ, ජනාධිපති ට්‍රම්ප් “ඇත්ත”කතා කළ බව ය. නව තත්ත්වය යටතේ රුසියාවේ ප්‍රතිචාරය ඉදිරි කාලයේ දී පළවනු ඇත.
යුක්රේනය යනු විරල ඛනිජ සම්පත් වලින් පොහොසත් රාජ්‍යයකි. ස්වභාවික ගෑස්, ගල් අඟුරු, ඉන්ධන පමණක් නොව ටයිටේනියම්, ලිතියම් ආදීය පවා එහි තිබේ. ඒවායේ වටිනාකම කොතෙක්දැයි නිශ්චිතව කිව නොහැකිවුවද,2023 Forbes වාර්තාවක දැක්වුණේ එය ඇ.ඩොලර් ට්‍රිලියන 15 කට ආසන්න බවය.කෙසේවුවද ,එම සම්පත් වලින් ප්‍රයෝජන ගැනීමට විශාල ආයෝජනයක් ද කිරීමට සිදුවේ.එය ඩොලර් බිලියන ගණනක් විය හැකිය. යුක්රේනයට එය තනිව දැරිය නොහැකිය.එසේම ආකරවලින් ඒවා මතුකරගැනීමට තවත් වසර ගණනාවක් ගතවනු ඇත. එසේ වුවද,අමෙරිකාව මෙන්ම බටහිර රටවල් මේ සම්පත් ගැන දක්වන උනන්දුව අවම කිරීමට ඒවා හේතුකාරණා නොවේ. මේ ඇතැම් ඛනිජ යුද අවි නිෂ්පාදනය සඳහාද අවැසි ය. ජාතික ආරක්ෂාවට වැදගත්වන එවැනි දුලභ ඛනිජ 50 ක් අමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ මඟින් හඳුනාගෙන ඇතැයි වාර්තාවල සඳහන් ය.එබැවින් ඛනිජ සම්පත් යනු ආර්ථිකයට පමණක් නොව ජාතික ආරක්ෂාවට බලපාන කාරණයකි. යුක්රේනයේ මෙම සම්පත් ඇති භූමි ප්‍රදේශ වලින් 20% ක් පමණ මේ වනවිට රුසියානු හමුදා පාලනය යටතේ ඇතැයි ද ඇතැම් වාර්තාවල සඳහන් ය. දැනට මෙවැනි දුලභ ඛනිජ සම්පත් වලින් පොහොසත් රුසියාව සහ චීනය වෙනුවට යුක්රේනයෙන් ඒවා ලබාගැනීමට ඇති හැකියාව අමෙරිකාවේ අවධානයට ලක්ව ඇති බව සිකුරාදා ට්‍රම්ප් සහ ෂෙලෙන්ස්කි අතර එළැඹීමට නියමිතව තිබූ,එහෙත් වැළැකුණු එකඟතාවයේ තේරුමය.ඒ යටතේ, මේ දක්වා යුක්රේනයට අමෙරිකාව ලබා දී ඇති යුද ආධාර වලට හිලව් වනු පිණිස ඇ.ඩොලර් බිලියන 500 ක ඛනිජ සම්පත් ගනුදෙනුවක් සිදුවීමට නියමිත විය.
මීට කලකට පෙර ජනාධිපති පුටින් ප්‍රකාශ කර තිබුණේ, තමන්ට යුක්රේනයට පහරදීමට අවශ්‍යතාවක් නැතිබවයි. එහි සිටින්නේ ද රුසියානුවන් බව පෙන්වා දුන් ඔහු, ඉන් ලබාදුන් පණිවිඩය වුවද සාමය සඳහා අවස්ථාවක් කරගත හැකිව තිබුණේ ය. මේ වනවිට එය අර්බුදයක් දක්වා තුන් වසරක් තිස්සේ ඇදෙමින් දුර ගොසිනි.
සෝවියට් සංගමය බිඳවැටීමට පෙර ඊට අයත්ව තිබූ රාජ්‍යක් වූ යුක්රේනයේ බලයේ සිටි ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ පාලනය පෙරළා දැමූ මයිදාන් චතුරශ්‍රය කේන්ද්‍ර කරගනිමින් දියත් වූ විරෝධතා වලින් පසු වත්මන් ජනාධිපති ෂෙලෙන්ස්කි බලයට පත්වූයේ ද බටහිර සහාය ඇතිව ය. හිටපු ජනාධිපතිවරයා රුසියානු හිතවාදී වූ අතර, ෂෙලෙන්ස්කි බටහිරට නැඹුරු විය. නේටෝවේ සාමාජිකත්වය ලැබීමට අපේක්ෂා කරන්නේ ද එබැවිනි. නේටෝවේ සාමාජිකයෙක් වන්නා වූ දේශසීමාබද රාජ්‍යයක ක්‍රියාකාරකම් තම ආරක්ෂාවට තර්ජනයක් වනු දැකීමට රුසියාවට කැමති විය නොහැකි ය. තම රටට තර්ජනයක් වන අයුරින් ක්‍රියාත්මකවීමට නේටෝවට ඉඩ නොතැබීම ගැන රුසියාව සංවේදී ය. එසේ තිබියදී, ෂෙලෙන්ස්කි රුසියාවට පිටුපා බටහිරට හැරීම නිවැරදි තීරණයක් වීද යන්න ඉදිරි කාලයේ දී වඩාත් හොඳින් පැහැදිළි වනු ඇත.
✍️ ධම්මික සෙනෙවිරත්න ✍️