Home » නිදහස නැත්නම් මරණය

නිදහස නැත්නම් මරණය

ල මුලාට්‍රෙස් සොලිටියුඩ්

by Gayan Abeykoon
March 5, 2025 4:19 pm 0 comment

  මුලාට්‍රෙස් සොලිටියුඩ්, 1802  වසරේදී ග්වඩිලූප්  හි  පැනනැඟුණු වහල් කැරැල්ලට සම්බන්ධවී පෙරමුණ ගනිද්දී ඇය අටමස් ගැබිණියකි.

ටුසෙන්ට් ලුවර්චර්  විසින් නායකත්වය දෙනු ලැබූ හයිටියානු විප්ලවයෙන් පසු 1974දී  ප්‍රංශ යටත් විජිතවල වහල් ක්‍රමය අහෝසි කරනු ලැබිණි. ඇය ප්‍රථම වරට වහල්භාවයෙන් නිදහස ලබන්නේ එම අවස්ථාවේදී ය. ප්‍රංශ ආණ්ඩුව වහල්භාවය අහෝසි කරනු ලබන්නේ, විප්ලවය කැරිබියන් කලාපය මුළුල්ලේම ඇති ප්‍රංශ යටත් විජිතවල පැතිරයාම වැළැක්වීම සඳහා ය.  කෙසේ වෙතත් 1802දී  නැපෝලියන්ට යළි වහල්භාවය ඇතිකරලීමට වුවමනා විය. ග්වඩිලූප්  හි  යළි වහල්භාවය ඇතිකරලීමට එරෙහිව ලුවී දෙල්ග්රෙස් ගේ  නායකත්වයෙන් ආරම්භ කළ කැරැල්ලට සම්බන්ධ වෙද්දී ඇය එලෙස ගැබිණියක්ව  සිටියා ය.

එම සටන අතරතුර දී ඇය අතිමහත් ධෛර්යයක්  හා සටන්කාමීත්වයක්   ප්‍රදර්ශනය කළා ය. දරුණු හා නිර්භය  යුද සෙබළියක් වූ ඇය සිය නූපන් දරුවා කුසෙහි දරා ගනිමින් ම, සෑම සටනක් ම  මැදට පැන සටන් වැදුණු බව  පැවසේ.  ජයග්‍රහණයෙන් ජයග්‍රහණයටත් ඉන් පසුව ඇති වූ පසුබෑමෙන් පසුබෑමටත්, අවසානයේ අවසන් පරාජය දක්වාත් ඇය දරුගැබ සමඟින් සටන් වැදුණා ය.

අවාසනාවකට මෙන් අවසානයේ දී ප්‍රංශ හමුදාව කැරලි හමුදාවන්ට වඩා ප්‍රමාණයෙන් වැඩි විය. ශක්තිමත් විය. අන් යමක් කළ නොහැකි තැන කැරලිකරුවන් ප්‍රංශ හමුදාවට තම ප්‍රදේශයට ඇතුළු වීමට ඉඩ දීමට තීරණය කරන ලදී.  පසුව තමාගේ වෙඩි බෙහෙත් ගබඩාව තමන් සමඟම පුපුරුවා ගනු ලැබුවේ ප්‍රංශ සෙබළුන් ද සිය ගණනක් මරණයට පත් කරමිනි.

එහිදී බොහෝ කැරලිකරුවන් මරණයට පත් වුවද,  ඇයගේ ජීවිතය බේරුණි. පසුව ඇය අත් අඩංගුවට පත් විය. ප්‍රංශ බලධාරීන් විසින් ඇයට  මරණ දඬුවම නියම කෙරිණි.  එහෙත් ඇය ඒ වන විටත් ගැබිණියකව  සිටි බැවින් දරු උපත තෙක් ඇය එල්ලා මරා දැමීමට  ප්‍රමාද කරනු ලැබුවේ දරුවා ඉපදුණු පසු දරුවා  වහල් හිමියාගේ දේපළක් වන බැවිනි.

දරු ප්‍රසූතියෙන් පසු දින උදෑසන ඇය සිරකුටියෙන් සාමකාමි ලෙස එළියට පැමිණියේ ඇගේ රාත්‍රී ඇඳුම මව් කිරි වලින් තෙත්ව තිබියදී ම ය.

එල්ලා මරා දැමීමට ප්‍රථමයෙන් ‘නිදහස නැත්නම් මරණය’ යැයි කියා  හඬ නඟමින් ඇය මිය  ගියේ නිදහස හා සමානත්වය සඳහා සටන් වැද ජීවිත පරිත්‍යාග කළ සියලු මව්වරුන්ගේ හා කාන්තාවන්ගේ සංකේතයක් බවට  හා වීරවරියක් බවට පත්වෙමිනි. ඇයගේ මරණයෙන් වසර දෙසීයකට පසු ග්වඩිලූප්  හි Heros aux Abymes Boulevard හිදී ඇගේ පිළිරුවක් ගොඩ නඟනු ලැබිණි.

 

✍️ වෛද්‍ය ධම්මික පටබැඳි ✍️

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT