Home » ගැහැනුන්ගෙන් උගෙන අලුත් ගමනකට තල්ලුවක්

ගැහැනුන්ගෙන් උගෙන අලුත් ගමනකට තල්ලුවක්

by Gayan Abeykoon
March 5, 2025 4:24 pm 0 comment

2025 ජාත්‍යන්තර කාන්තා දිනය අප සමරන්නේ විශාල ගෝලීය අර්බුද මැදය. ආර්ථික අනතුරු, දේශපාලන අස්ථාවරතා, දේශගුණික විපර්යාස, සමාජ අසමානතා, ආන්තිකකරණය සහ ගෝලීය ව්‍යසනයන් අප ජීවත් වන ලෝකය හැඩ ගස්වයි. නමුත් මේ වාතාවරණය තුළදී පවා, කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ සංවාදය වෙනස් වී නැත.  අප තවමත් කතා කරන්නේ වීදුරු සිවිලිම් කඩාගෙන පිරිමි අවකාශවලට ඇතුළුවීම, සමාන අයිතිවාසිකම් දිනාගැනීම සහ පිරිමින් සමඟ තරඟ කිරීම ගැන ය. එහෙත්, මේ විනාශය කරා ගෙන ආ නවලිබරල් ධනවාදී වෙළෙඳ‍ෙපාළ සහ පුරුෂාධිපත්‍යයෙන් සකස්වුණු වත්මන් සමාජ ක්‍රමය තුළ ම අපට තවදුරටත් ඉදිරියට යා හැකිද? මේ කාන්තා මාසයේදී කාන්තාවන් යනු වින්දිතයන් ලෙස සළකන අයිතීන් පිළිබඳ කතිකාව වෙනුවට ලෝකයක් ලෙස අප මුහුණ දෙන අර්බුදවලට විසඳුමක් ස්ත්‍රීත්වය සහ ඔවුන්ගේ පිළිවෙත් හරහා ලබාගත හැකිදැයි සොයා බැලීම සුදුසු ය.

 

ශ්‍රී ලංකාව ගත් කල මහත් සමාජ දේශපාලන අර්බුදයකින් යම් පමණකට පණ ගැටගසාගෙන සිටියද, තවමත්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට යටත්ව සිටියි.  නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කළද, ලෝකය යන්නේ කොයිබටදැයි තක්සේරු කිරීම අසීරු බැවින් අප යන මාවතද, අනාගතයද අවිනිශ්චිත ය. මේ අර්බුද මැද ලාංකේය කාන්තාව සිටින්නේ කොහේද? එසේම මෙයින් මිදීමට ඇගේ කාර්ය භාර්ය කුමක් විය යුතුද?

ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන ක්ෂේත්‍ර වන විදේශ රැකියා, ඇඟලුම් කර්මාන්ත, තේ සහ රබර් අපනයන වැනි ක්ෂේත්‍රවල වැඩි දායකත්වය කාන්තාවන්ගෙනි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගතහොත් වැඩි ශිෂ්‍ය පිරිසක් කාන්තාවන් ය. ඒ කෙසේවෙතත්, 2024 ලෝක ආර්ථික සංසදයේ සමාජභාවී අනන්‍යතාවන් අතර පරතරය පිළිබඳ වාර්තාවට අනුව ලංකාව ඉන්නේ 122 ස්ථානයේ ය. මෙහිදී වඩා සැළකිල්ලට ගත යුතු කාරණාවක් වන්නේ ලංකාව කාන්තාවගේ සෞඛ්‍ය සහ පැවැත්ම යන දර්ශකයේ අංක එකේ රටවල් වලින් එකක් වන අතර අධ්‍යාපනය ලබා ගැනීමෙන් 47 වන ස්ථානයේ සිටීම යහපත් කාරණා බවයි. කෙසේ නමුත් ආර්ථික සහභාගීත්වය සහ දේශපාලනික තීරණ ගැනීම අතින් ලංකාවේ කාන්තාව පිරිමියාට සාපේක්ෂව ඉතා අඩු අවස්ථාලාභීයෙකි.  මෙය වඩා කනගාටුවට කාරණාවක් වන්නේ ඉතා හොඳ අධ්‍යාපන මට්ටමක් ලැබුවද, කාන්තාවන්ට ඇති ආර්ථික සහ තීරණ ගැනීමේ හැකියාවන් ලාංකික සමාජය විසින් අසුරා  ඇති බැවිනි.

ලංකාවේ සාමාන්‍ය කාන්තාව ජාතික ආර්ථිකයද, පවුලද, අනාගත පරම්පරාවේ සුබ සිද්ධියද, ප්‍රජා සහයෝගීතාවද  කර පින්නාගෙන යන නමුදු ඇයට දේශපාලනය තුළ, ප්‍රතිපත්ති සම්පාදනය තුළ සහ තීරණ ගැනීම තුළ ඉඩ ලැබෙන්නේ අඩුවෙනි. අධ්‍යාපන සුදුසුකම් ලැබීම අතින් ගැහැනුන් ඉහළින් සිටියද, ඉහළ තනතුරු වල ගැහැනු  අඩු ය.  රැකියා ස්ථානයේ පවා ගැහැනුන්ට මුහුණ දෙන්නට වන අභියෝගතා රැසකි. මේවා ලංකාවේ සමාජ සංස්කෘතික සන්දර්භය තුළ සුලබව දකින්නට ලැබෙන සහ ස්ත්‍රීවාදී කතිකාවත තුළ කතාවට ලක්වෙන ගැටලු ය. “ගෙදර බුදුන් අම්මා” යැයි කියන ලාංකික සමාජය පීතෘ මූලික වන්නේ කෙසේදැයි යමෙකුට ප්‍රශ්න කළ හැකි ය.

ලාංකේය කාන්තාව මෙවන් අසීරුතාවලට සුලබව මුහුණ දුන්නද,  ඇය තනිකර වින්දිතයෙකු නොවේ. ඇය සමාජ ප්‍රගමනයට සක්‍රියව දායකත්වය දක්වන්නියකි. සාමන්‍ය ගැහැනිය ලෝකය දකින්නේ කෙසේද? ගැහැනියක් වීමට ඇයට ලබාදෙන පුහුණුව මෙයට බලපාන්නේ කෙසේද? ගැහැනියක ලෙස ලෝකය දැකීමෙන් සහ ක්‍රියාත්මක වීමෙන් අප ජීවත්වන සමාජය හා වටපිටාව වඩා යහපත් තැනක් කළ හැකිද? කියා මෙහිදී අපි කියවාගත යුතුය. සාමාන්‍ය ගැහැනිය මේ යැයි සහ ඔවුන් මුළුමනින්ම වින්දිතයන් යැයි කරන පෙර අනුමාන නිසා ඇයගේ ඇසින් දේවල් දැකීමට අපට නොහැකි වී යයි. අප නිරන්තරයෙන් පුරුෂාධිපත්‍ය සහ ස්ත්‍රීවාදය වැනි විවිධ ව්‍යුහ හරහා පමණක් සාමාන්‍ය ගැහැනියගේ කතාව කියවීම නිසා ඇගේ සැබෑ කතාව අපට මඟහැරී යයි.

ගැහැනුන් පීඩාවට පත්වෙන සමාජ සංස්කෘතික සන්දර්භය යනු පිරිමියා විසින් ගැහැනුන්ට එදිරිව පවත්වාගෙන යන දෙයකට වඩා වෙනස් යමකි. එහිදී ස්ත්‍රී- පුරුෂ සහ අනෙකුත් සියලුම සමාජභාවී අනන්‍යතාවන් ඇති අය එහි කොටස් කරුවෝ වෙති. පුරුෂාධිපත්‍ය සහ ධනවාදය එකතුවෙන් හැදී ඇති අප ජීවත්වන ලෝකය තරඟකාරීත්වය, ආන්තිකකරණය සහ පරිභෝජනවාදයේ කරවටක් ගිලී තිබේ. මේ ලෝකය තුළ ජය ගැනීමට වෙර දරන බොහෝ කාන්තාවන් තුළද “පිරිමි ලක්ෂණ” බෝ වී තිබේ. ගැහැනුන් ද අතිශය තරඟකාරී, ප්‍රචණ්ඩකාරී සහ සහකම්පනය අඩු පිරිසක් වෙමින් සිටියි.  ගැහැනු ලක්ෂණ සහ පිරිමි ලක්ෂණ කියන්නේ උපතින් ගෙනෙන ඒවා යැයි කීම ජීවවිද්‍යාත්මක නිත්‍යවාදයකි. ඇත්තෙන්ම, බොහෝ ගැහැනු සහ පිරිමි ලක්ෂණ අප උපන්දා සිට අප අවට සමාජයෙන් අපට පුරුදු කරන ඒවා ය. මෙහිදී ගැහැනු ලක්ෂණ යනු දුර්වල හා මටසිළිටු ඒවා ලෙසත්, පිරිමි ලක්ෂණ යනු ශක්තිමත් හා තරඟකාරී ඒවා ලෙසත් හඳුනාගැනෙයි. සංවේදීවීම සහ ඇඬීම ගැහැනු ගති වන විට  තරහ ගැනීම හා සටන් කිරීම පිරිමි ගතිවලට අයත් ය. ඉවීම, දරුවන් බලා ගැනීම, නිවස ලස්සන කිරීම, රෙදි මැහීම සහ අසල්වැසියන් සහ ඥාතීන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම ගැහැනියගේ වගකීම් වන අතර මුදල් හම්බ කිරීම, ආර්ථික සහ සමාජ ගොඩනැංවීම්, පවුල සහ රට ආරක්ෂා කිරීම, කෘෂි සහ අනෙකුත් කර්මාන්ත වැනි බරපතළ වගකීම් පිරිමින්ගේ ය. එහෙත් සමාජභාවී අනන්‍යතාව අනුව කරන ලද ශ්‍රම විභජනය සමාජය සහ සංස්කෘතිය විසින් ගොඩ නගන ලද්දක් බව අප අමතක නොකළ යුතු ය.

මේ සාම්ප්‍රදායික ශ්‍රම විභජනය කඩා වෙළෙඳපළට කාන්තාවන් ඇතුළත් කිරීම නූතන ලිබරල් ස්ත්‍රීවාදයේද සහයෙන් කර තිබුණත් පිරිමින්ට පෙර කී ස්ත්‍රී ලෙස වර්ගීකරණය කරන ලද වගකීම් ගැනීම තවමත් ලංකාවේ බොහෝ සමාජ ස්ථරවල උගහට ය. ගැහැනුන් වීදුරු සීලිම් කඩා පිරිමි අවකාශ වල සැරීමට සහ රජ කිරීමට ස්ත්‍රීවාදීන්ගේ සවිබල ගැන්වීම ලැබුණද, පිරිමින් එයට පසුබට වන බව සෑම සමාජ ස්ථරයකම පාහේ දකින්නට ලැබේ. මේ පිළිබඳව ගිය සතියේ ප්‍රවෙශ අතිරේකයේ ලිපියකින් වැඩි දුර කතා කරන ලදී. පිරිමින් මේනිසාම අනන්‍යතා අර්බුදයකට යන බව පෙනෙන්නට තිබේ.

ගැහැනුන් සිය අවකාශවලට හා කාර්ය භාර්යවලට අරක්ගැනීම සමඟ අර්බුදයට යන පිරිමින්ට මේ අලුත් බල තුලනය සමඟ ජීවත්වෙන්නට පුහුණු කිරීමක් පවුලෙන්වත් සමාජයෙන්වත් නිසි ලෙස කෙරෙන පාටක් නැත. මේ සමඟ සමාජය තුළ අලුත් ගැටලු පැන නැඟ තිබේ. ගැහැනු සහ පිරිමි අතර පවුල් අසමඟිකම්,පිරිමින් මානසික අසහනයට පත්වීම, ස්ත්‍රීන් කෙරේ පිරිමින්ගෙන් එල්ල වෙන කායික, වාචික හා මානසික පීඩා වැනි දෑත් ඉන් එහාට සමහර රටවල තරුණියන් සම්පූර්ණයෙන්ම පාහේ විවාහය ප්‍රතික්ෂේප කිරීම වැනි කාරණාද  දැකිය හැකි ය.

කාන්තාවන් පිරිමි අවකාශ හා කාර්යයන් අතික්‍රමණය කළද,  පිරිමින්ට පෙර කී සාම්ප්‍රදායික කාන්තා වගකීම් කිරීමට පුහුණුවක් හෝ අවශ්‍යතාවයක් නොතිබීමද තවත් කාරණයකි. සමාජය තුළ එකිනෙකා බලාගැනීම, ආදරය කිරීම, කෑම බීම සකස් කර දීම, මෘදු බව සහ ප්‍රජාවක් සේ පැවතීම වැනි දෑ මේ සමඟම දුර්ලභවෙමින් පවතී. සියලුම දෙනා පිරිමි ක්‍රමයක් තුළ පිරිමි ගති ලක්ෂණ උත්කර්ෂයට නංවමින් හඹා යාමක නිරතව සිටියි. කෙසේවෙතත්, මේ ඉහළ සමාජ ස්ථරයන් විසින් වින්දිතයින් ලෙස දකින සාමාන්‍ය කාන්තාව තුළ මේ අර්බුදයට තවමත් විසඳුම් තිබේ. ඒ විසඳුම් සොයාගැනීමට අපට සාමාන්‍ය කාන්තාවන්ගෙන් පාඩම් උගත හැකිය.

අප මුහුණ දෙන බොහෝ ගැටලුවලදී මෙන්ම මෙහිදීද,  අපට තරමක් අඩුවෙන් නවීකරණයට හා වෙළෙඳපළකරණයට  ලක් වූ ගම වෙත හැරී බැලිය හැකි ය.  ශ්‍රී ලංකාවේ ගම යනු පහුගිය දශක කිහිපය පුරා රාජ්‍ය සංවර්ධන සහ සැලසුම් වලින් විශාල බලපෑමක් නැතත්, නවීකරණයට නතු වූ තැනකි. නෙලිබෑවද එවැනි ගමකි. එහි සංවර්ධනයෙහිලා කාන්තාවගේ මැදිහත්වීම අතිමහත් ය. මෙහිදී කාන්තාවන් විදේශ රටවල ගෘහ සේවය සහ ඇඟලුම් කර්මාන්තශාලා වල සේවය වැනි දෑ හරහා ගමට මුදල් ගෙන ඒමත් පවුල, නිවස සහ ගම මේ හරහා වෙනස් කිරීමත් සිදු කර ඇත. මෙහිදී ඔවුන්ගේ අරමුණ වූයේ පුරුෂාධිපත්‍ය වෙනස්කිරීම හෝ ගම සංවර්ධනය කිරීම හෝ නොවුවත්, ඔවුන් ඒ දෙකම සිදු කර ඇත. ඔවුන්ගේ අරමුණ තම පවුලට යහපත් ජීවිතයක් ලබා දීම සහ තමන්ට යම් ස්වාධීනත්වයක් සහ නිදහසක් ලබා ගැනීම පමණක් විය හැකි ය.

ඇඟලුම් කර්මාන්තශාලාවකට යන යුවතියකගේ අරමුණ දෑවැද්ද සූදානම් කර ගැනීම වුවත්, පවත්නා පුරුෂාධිපති ක්‍රමය රැකීම ඉන් ඈ අරමුණු නොකරයි. තමන් විසින්ම සිය දෑවැද්ද සූදානම් කරගැනීම හරහා තමන්ට ආඩම්බර වීමට සහ සැමියාගේ නිවස සහ ගම තුළ යම් බලයක් ඇත්තියක ලෙස කටයුතු කිරීම ඇගේ අරමුණයි. මේ හරහා ඇය පවතින ක්‍රමය තුළම ඉඳ එහි වටිනාකම්වල මුල් සොලවා දමයි. හෝමි බාබා 1985 දී Sly civility කියන්නේ මෙවැනි දේකට ය. ඕනෑම ව්‍යුහයකට කෙලින්ම විරුද්ධ නොවී ඊට අනුගත වන ලෙස පෙන්වමින් තමන්ට ඔනෑ දේවල් කර ගැනීමය. නෙලිබෑවේ කාන්තාවන් මීට ශූරය. සාමාන්‍ය ගැහැනුන් ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය සහ ඔවුන්ගේ විසඳුම් තේරුම් නොගෙන ඔවුන්ව සවිබල ගැනිවීමට යාම තිරසර නොවේ.

ගමේ කාන්තාවන් එකිනෙකාගේ අවශ්‍යතාවයන් වලදී ප්‍රජාවක් ලෙස කටයුතු කරනු අපට දැක ගත හැක. කාන්තා සමිති සහ බත් සමිති වැනි දෑ පිහිටුවාගෙන් ඇත්තේද, මෙසේ අවශ්‍ය අවස්ථාවලදී එකිනෙකා බලාගන්නට ය. සීට්ටු දැමීම හරහා මුදල් පාලනය වැනි දෑ ප්‍රජාවක් ලෙස කරන ඔවුන් කයිය (අත්තම්) ක්‍රමය හරහා එකිනෙකාට උදව් කරගනී.

අඩුවෙන් නවීකරණය වූ ගමේ කාන්තාවන් සේම මෙවැනි ගැහැනු – පිරිමි දෛවතයන්ගෙන් සහ පුරුෂාධිපත්‍යයේ සීමාවන්ගෙන් පිටමං කාන්තාවන් අපට නාගරික පිටකොටුවේදී මුණ ගැසෙයි.  පිටකොටුව යනු පුරුෂමූලික අවකාශයකැයි කිව හැකි ය.  එහි වැඩියෙන් සිටින්නේ පිරිමින් වන අතර එහි වටපිටාව සකස් වී ඇත්තේද,  පිරිමින්ට රිසි පරිදි යැයි බැලූ බැල්මට පෙනේ. නමුත් මෙහි කාන්තාවන්ද ජීවත් වන අතර ජීවිකාවේ යෙදෙන කාන්තාවන්ද සිටියි. මෙම කාන්තාවන් පිටකොටුවේ අවකාශ තමන්ට ජීවත්වීමට සරිලන ලෙස නිර්මාණය කරගනී. එහිදී ඔවුන් අනුගමනය කරන්නේ ස්ත්‍රී වැඩපිළිවෙළකි. පිටකොටුවේ ඉන්නා ගැහැනුන් කාටවත් බය නැති, මන්නා පිහිය අතට ගත්, කට සැර පිරිමි වැනි ගැහැනු ලෙස පිටින් බලන අය පවසයි. එහෙත් වඩා ළංව බලන විට ඔවුන්ගේ ජීවිතවල ඇති ස්ත්‍රීත්වය පෙනේ. එකිනෙකා බලා ගැනීම, මාතෘත්වය, ආහාර බෙදා ගැනීම සහ ප්‍රජාවන් ගොඩනැඟීම වැනි දෑට ඔවුන් රුසියෝ ය.  මේ හරහා ඔවුන් පිටකොටුව එකිනෙකාට මෙන්ම බාහිරෙන් එන කෙනෙකුට වුව වඩා ආරක්ෂිත ස්ථානයක් බවට පත් කරයි. මේ අනුව බලන විට ස්ත්‍රී සහ පුරුෂ දෛවතයට වඩා සංකීර්ණ අවස්ථානුකූල ගැහැනු සහ පිරිමි ලක්ෂණ මුසුවක් මෙම කාන්තාවන් විසින්  විද්‍යාමාන කරනු ලබයි.

ගමේ මෙන්ම පිටකොටුවේ කාන්තාවන්ද අනෙකුත් ගැහැනුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට, ළමයින්ගේ ආරක්ෂාව සහ අභිවෘද්ධිය ඇති කිරීමට, ප්‍රජාවක් ලෙස පැවතීමට සහ සියලු දෙනාට පහසු අවකාශ හැදීමට දායක වෙති.  ලෝකය පුරා කර ඇති පර්යේෂණවලින් කාන්තාවට කුඩා කල සිට ලැබෙන සමාජභාවී අනන්‍යතාව පිළිබඳ පුහුණුව ප්‍රජා ගොඩනැංවීමට හිතකර බව සොයාගෙන ඇත.

වෙළෙඳපළ  සහ පුරුෂාධිපත්‍ය එකතුවෙන් නිමවා ඇති, සමාජයීයව සහ පාරිසරිකව විනාශය කරා යන, තරඟකාරී සහ අසමානාත්මතාවයන්ගෙන් ඔද්දල් සමාජය තුළ එම සමාජ වටිනාකම්ම තව තවත් වර නඟනවාට වඩා අලුත් සමාජ වෙනසක් ඇති කිරීමට මෙම කාන්තාවන් පුහුණු කරන සහ ඔවුන් කාලයක් තිස්සේ අනුගමනය කරන ජීවන පිළිවෙත් වලින් අපට උගත හැක්කේ මොනවාද? ගැහැනුන් තුළ පිරිමි ලක්ෂණ බෝ කරනවාට වඩා සමාජභාවී අනන්‍යතාව කුමක් වුවද “ගැහැනු ලක්ෂණ” යැයි අප සමාජයෙන් කොන් කර ඇති සංවේදී බව, භාවාත්මක බුද්ධිය, සහකම්පනය හා  ප්‍රජා මූලික ජීවන ක්‍රමයක් ඉගෙන ගැනීම සුදුසු නොවේද?කාන්තාවන් යනු මෙය ප්‍රගුණ කිරීමට සහ ඊළඟ පරම්පරාවලට කියා දීමට මූලිකත්වය ගත හැකි පිරිසකි. මේ කාන්තා දිනයේදී කාන්තාවන් බේරා ගැනීමට නොව මේ විනාශය කරා යන සමාජය සහ ලෝකය බේරා ගැනීමට කාන්තාවන්ට ඇති හැකියාව අපට කියවා ගත හැකිද?

අප සැමට අපේ අම්මලාගෙන් සහ මිත්තණියන්ගෙන් අපගේ අත් පාවිච්චි කර වැවීම, ඉවීම, ගෙතීම සහ මැහීම වැනි දෑ පුහුණු කළ හැකි නම් ලෝකය නැවත ලස්සන තැනක් වනු ඇතැයි ඉන්දියානු සමාජ ක්‍රියාකාරිණියක් වන වන්දනා ශිවා ප්‍රකාශ කර ඇත. එවැනි ලෝකයක යුද්ධ කරනවා වෙනුවට ආදරය කළ හැකි ය.  පිරිමි ලෝකයක් තුළ ගැහැනුන් වඩා හොඳින් පිරිමි වීමත්, සමඟ වියැකී නොයා පිරිමින්ටද,  “ගැහැනු ලක්ෂණ” ප්‍රගුණ කළ හැකි නම් මේ ලෝකය වඩා සාමකාමී, තිරසාර සහ සුවපහසු තැනක් වනු ඇත.

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ අපි හැමෝම “ගැහැනුන් ලෙස” හිතන්නට පටන් ගමු. හෙමින් ගමන මිස ගමනක් ලෝකයට නැති බව අවබෝධ කරගෙන “ස්ත්‍රීමය හෙට දවසක්” හැදීමෙන් ලෝකය විනාශය කරා ගමන් කරමින් තිබෙන දිශානතිය වෙනස් කිරීමට හැකි වනු ඇත.

 

✍️  ආචාර්ය කෞශල්‍යා හේරත් ✍️

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT