Home » අන්තර් විශ්වවිද්‍යාලයීය ‘Make-A-Thon’ තරගාවලියේ මුල් තැන මොරටුව සරසවියට

අන්තර් විශ්වවිද්‍යාලයීය ‘Make-A-Thon’ තරගාවලියේ මුල් තැන මොරටුව සරසවියට

by sachintha
March 4, 2025 4:00 pm 0 comment

කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයත්, වෛද්‍ය පීඨයත් එක්ව සංවිධානය කළ 3D මුද්‍රිත වෛද්‍ය ආධාරක තාක්ෂණය සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර් විශ්වවිද්‍යාලයීය ÒMake-A-ThonÓ තරගාවලිය, පෙබරවාරි මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයේදී පැවැත්විණි.

“3D තාක්ෂණය හා නව නිර්මාණ තුළින් සැමට සමානාත්මතාව ලබා දීම” යන තේමාව මුල් කර ගනිමින් මෙම තරගාවලිය පැවැත්විය. කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහභාගි විය. මෙම තරගාවලිය රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල 9ක කණ්ඩායම් 13කින් සමන්විත වූ අතර, ඉංජිනේරු විද්‍යාව, පරිගණක විද්‍යාව, ජෛව වෛද්‍ය විද්‍යාව සහ කාර්මික නිර්මාණ යන ක්ෂේත්‍ර පිළිබඳ හදාරන උපාධි අපේක්ෂක තරගකරුවන් 75ක්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්, වෘත්තීය චිකිත්සකවරුන් සහ වෘත්තීය චිකිත්සාව හා 3D මුද්‍රණ තාක්ෂණය පිළිබඳ දේශීය විදේශීය ප්‍රවීණයන්ගේ එකතුවෙන් පැවැත්විණි. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අදහස් හා අවශ්‍යතාවලට ගැළපෙන ක්‍රියාකාරී සහ ප්‍රායෝගික සහායක වෛද්‍ය උපාංග 3D තාක්ෂණය ඔස්සේ පැය 48ක් තුළ සැලසුම් කර නිෂ්පාදනය කිරීම මෙම තරගාවලියේදී තරගකරුවන්ට ලැබුණු අභියෝගය විය.

අවසන් මහා තරගයෙන් මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම, මස්තිෂ්ක දෘශ්‍යාබාධිත තත්ත්වය සහිත දස හැවිරිදි දරුවකුට වඩාත් පහසුවෙන් භාවිත කළ හැකි යතුරු පුවරුවක් නිපදවීම වෙනුවෙන් පළමු ස්ථානය ද, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ කණ්ඩායම, ස්කොලියෝසිස් තත්ත්වය ඇති දරුවකුට වඩාත් පහසුවෙන් ඕනෑම ආසනයක අසුන්ගත හැකි ලෙස ආධාරකයක් නිපදවීම වෙනුවෙන් අනු ශූරතාව ද හිමි කර ගත්හ. මේ අතර, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කණ්ඩායම සිය වම් අතට සිදු වූ අනතුරක් හේතුවෙන් අතේ ඇඟිලි සියල්ල අහිමි වුණු පුද්ගලයකුට එදිනෙදා ගොවිතැන් කටයුතු සිදු කර ගැනීමට පහසු වන ලෙස මිනිස් අතකට සමාන උපාංගයක් නිපදවා තරගයේ ජනප්‍රියතම නිමැවුම සඳහා වන සම්මානය දිනා ගත්හ.

තක්ෂිලා උදයංගනී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT