Wednesday, April 23, 2025
Home » මීගමුවෙන් ව්‍යාජ බීඩි තොගයක් අල්ලයි

මීගමුවෙන් ව්‍යාජ බීඩි තොගයක් අල්ලයි

by sachintha
March 4, 2025 4:22 pm 0 comment

ප්‍රසිද්ධ සමාගමක නිෂ්පාදනය අනුකරණය කරලා

බාර්කෝඩ් – ආවේණික සලකුණු කිසිවක් නෑ

මීගමුවේ ප්‍රසිද්ධ බීඩි නිෂ්පාදන සමාගමක නිෂ්පාදනය කරන බීඩිවලට බොහෝ සෙයින් සමාන අයුරින් ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ බීඩි තොගයක් සමඟ 19 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පැවසීය.

එම සැකකරු සමඟ බීඩි 38,400ක් අඩංගු බීඩි බණ්ඩල් 96ක් පොලිස් භාරයට ගෙන ඇත. තම සමාගමේ සේවකයන් මෙන්ම 5,000කට අධික පිරිසක් මෙම සමාගමෙන් යැපෙන බවත්, නීත්‍යනුකූල ලෙස රජයට වසරකට කෝටි 20කට අධික බදු ගෙවන තම සමාගමේ නිෂ්පාදනය කරන බීඩිවලට සමාන ලෙස නිෂ්පාදනය කළ බීඩි මොරගහහේන තලගල ප්‍රදේශයේ වෙළෙඳසලක තොග වශයෙන් නීති විරෝධී ලෙස අලෙවි කරන බවත්, ඒ හේතුවෙන් තම සමාගම කඩාවැටී සේවකයන් මෙන්ම බීඩි කර්මාන්තය ආශ්‍රයෙන් යැපෙන පවුල්වල විශාල පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක් මතුවන බවත් පවසමින් නීත්‍යනුකූල සමාගමේ කළමනාකරුවකු වන ලසන්ත පෙරේරා මහතා බණ්ඩාරගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.

පැමිණිලිකාර කළමනාකරු නීත්‍යනුකූලව නිෂ්පාදනය කළ බීඩි බණ්ඩලයක් ද පැමිණිල්ල සමඟ පොලීසිය වෙත ඉදිරිපත් කර තිබිණි. උපාය දූතයකු යොදවා සැකකරු රැඳී සිටි වෙ‍ෙළඳසලෙන් බීඩි බණ්ඩලයක් මිලදී ගැනීමෙන් අනතුරුව එම බීඩි බණ්ඩලය සහ නීත්‍යනුකූල සමාගමේ බීඩි බණ්ඩලය පරීක්ෂා කිරීමේදී බැලූ බැල්මට බොහෝ එක සමාන වුවද එහි බාර්කෝඩ් අංකය නොමැති බවත්, තවත් විශේෂිත ලාංඡන කිහිපයක් නොමැති බවත් වැඩිදුරටත් අනාවරණය කරගත් බව පොලීසිය කීය. පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම ව්‍යාජ බීඩි මාතර ප්‍රදේශයේ සිට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු මීට දින කිහිපයකට ඉහතදී ලබා දුන් ඒවා බවට අනාවරණය කරගත් බවයි. ඒ අනුව ව්‍යාජ බීඩි නිෂ්පාදනය කරන ස්ථානය සහ ඊට අදාළ සියලුම නිෂ්පාදන කටයුතු සිදු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දීර්ඝ විමර්ශනයක් සිදු කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT